කථානායක පුටුව පෙරළෙයි

පාර්ලිමේන්තු සභා ගර්භයේ මූලාසනයේ ඇති කථානායක පුටුව ඊයේ පෙරළී බිම පතිත වූවේය.

මූලාසනයේ සිටි සභාපති මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන මොනරාගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආනන්ද කුමාරසිරි මුලසුනේ සිටින කාලය අවසන්වීමෙන් පසු ඉන් පිටත්ව යාම සඳහා කථානායක පුටුව පසුපසට තල්ලු කරද්දී එය පෙරළී බිමට පතිත වුණි.

ඉන් පසුව මූලාසනයට පැමිණීමට ආරාධනා කළ සභාපති මණ්ඩලයේ මන්ත්‍රීවරයෙකු වන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ශෙහාන් සේමසිංහ ද මූලාසන පීඨිකාවට පැමිණ සිටියේය.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවකයන් පැමිණ වහාම පුටුව ඔසවා යළි පැවැති තත්ත්වටෙන් ස්ථාන ගත කළහ.

පුටුව බිම පෙරළී ගිය අවස්ථාවේ නැගී සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසා සිටියේ පාර්ලිමේන්තු ඉතිහාසයේ කථානායක පුටුව පෙරලුණු පළමු අවස්ථාව මෙය බවත්ය.

මෙය අසුබ ලකුණක් බවද මන්ත්‍රිවයා වැඩිදුරටත් පවසා සිටියේය.