දේවාලයට ගිය දැරිය ගැබිනියක කළ කපුවා

දේවාලයකට කැඳවාගත් 14 හැවිරිදි දැරියක ගැබිනියක බවට පත් කළ කපුවා දැරියගේ මිත්තනිය විසින් කළ පැමිණිල්ලට අනුව කුලියාපිටිය පොලිස්‌ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එසේ අත්අඩංගුවට ගත්තේ කුලියාපිටිය කොස්‌හේන ප්‍රදේශයේ දේවාලයක ප්‍රධාන කපුවා වූ අතර වින්දිත දැරිය මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

මව විදෙස්‌ගතව ඇති මෙම දැරිය සිය මිත්තනිය සමඟ වැලිපැන්න ප්‍රදේශයේ දිවිගෙවන අතර පෙර වතාවකදී සාත්තරයක්‌ ඇසීමට ගිය අවස්‌ථාවක ඇයට බලවත් භූත දොෂයක්‌ ඇතැයි පවසා කිහිප වතාවක්‌ දේවාලයට ගෙන්වා ගෙන තිබේ. මේ අතර දැරිය රවටාගෙන මිත්තනියගෙන් මගහරවා කුලියාපිටිය හෝටල් කාමරයකට රැගෙනවිත් අපයෝජනයට ලක්‌කර ඇතැයි මූලික පොලිස්‌ පරීක්‍ෂණවලින් හෙළිව ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කුලියාපිටිය වැඩබලන මහෙස්‌ත්‍රාත් පර්සි වඩුගෙදර මහතා නියම කළේය.

කුලියාපිටිය පොලිස්‌ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති කාන්තා උප පොලිස්‌ පරීක්‍ෂිකා සාවිත්‍රි සිරිමාන්න, ධනංජනී යන නිලධාරිනියන් සමඟ පොලිස්‌ සැරයන් දයාරත්න (58527) මහතා විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.