මම ලංකාවේ රූපවාහිනියක වාර්තාකාරිණියක්

ප‍්‍රකට බොලිවුඩ් නිළියක වන ජැකලින් ෆර්ඩිනැන්ඩ්ස් බොලිවුඩ් සිනමාවට පිවිසීමට පෙර ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන සිසුවියක් ලෙස ඉගෙනුම ලැබූ බව සහ ශී‍්‍ර ලංකාවේ රූපවාහිනියක ප‍්‍රවෘත්ති වාර්තාකාරිණියක ලෙස කටයුතු කළ බව ඉන්දියාවේ ” ද නිව් ඉන්දියන් එක්ස්ප‍්‍රස්’ ( The new indian Express) පුවත්පත සමඟ සිදුකළ සාකච්ඡාවකදී පවසා තිබේ.

තමන් වාර්තාකාරිණියක ලෙස කටයුතු කළ සමයේ හඬ පටයක් හදිසියේ හමු වීමෙන් පැරණි මතකය අළුත් වුණු බව ඇය එහිදී සඳහන් කර ඇත.

එම හඬ පටය ජැකලීන්ගේ මව විසින් ඇය වෙත එවා තිබේ.

ජැකලීන් ශී‍්‍ර ලංකාවේ ගත කළ අතීතය සිහිපත් කරමින්,

” ඒ දවස්වල හැම දවසක්ම හරිම විශ්මයජනකයි. වැඩට එනවා. නවතම ප‍්‍රවෘත්තිය සොයා ගන්නවා. හරියට රහස් පරීක්ෂකයෙක් වගේ. අපි කණ්ඩායමක් එකට වැඩ කළා.

මට නිළියක් වීමේ දැඩි ආශාවක් සහ සිහිනයක් තිබුණා.

ඒ නිසා මම වාර්තාකාරිණියකට අමතරව නිරූපන ශිල්පිනියක් ලෙසත් කටයුතු කළා.

2006 ශී‍්‍ර ලංකා විශ්ව රූ රැජිණ කිරුළ දිනා ගැනීමෙන් පසුව මට බොලිවුඩ් සිනමාවට එන්නට මඟ පෑදුනා.

ඒ නිසා මට මාධ්‍ය ජීවිතය මඟ හැරුණා ” යනුවෙන් එම සාකච්ඡාවේදී ඇය සඳහන් කර ඇත.

ජැකලීන් ෆර්ඩිනැන්ඩ්ස් ශී‍්‍ර ලාංකික සම්භවයක් සහිත බොලිවුඩි නිළියකි.

ඇයගේ පියා ශී‍්‍ර ලාංකිකයෙකු වන අතර මව මැලේසියානු සම්භවයක් සහිත කාන්තාවකි.

ජැකලීන්ගේ මව් පාර්ශ්වයේ සීයා කැනේඩියානු ජාතිකයෙකි.

ජැකලින් ෆර්ඩිනැන්ඩ්ස් මේ වන විට බොලිවුඩු සිනමාවේ අපූර්තම නිළියක් ලෙස සිය දක්ෂතාවය පෙන්නුම් කර ඇත