වැරදි බෙහෙත් දුන් පාමසියේ කතට දඩ

රෝගී කාන්තාවකට වැරදි සහගත ඖෂධ වර්ගයක්‌ අලෙවි කිරීමේ චෝදනාවට වරද පිළිගත් ඖෂධවේදිනියක නොවන කාන්තාවකට රුපියල් 50,000 ක දඩයක්‌ ගෙවීමට කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් චානිමා විඡේබණ්‌ඩාර මහත්මිය නියෝග කළාය.

අංගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක වන වන්නිආරච්චිගේ දමයන්ති ප්‍රියා නමැත්තියට එලෙස දඩ නියම කෙරිණි. කොටිකාවත්ත සුපර් මාර්කට්‌ ගොඩනැඟිල්ලේ පිහිටි කොටිකාවත්ත ෆාමසි ඇන්ඩ් ග්‍රොසරි ආයතනයේ විකුණුම්කාරියක ලෙස සේවය කරන සැකකාරිය විසින් 70 හැවිරිදි කාන්තාවකට විශේෂඥ වෛද්‍යවරයකු විසින් නිර්දේශ කළ ඖෂධ වර්ගයක්‌ වෙනුවට පිළිකා රෝග තත්ත්වයකට ලබාදෙන ඖෂධයක්‌ ද අලෙවි කොට තිබුණි.

එම ඖෂධ භාවිත කළ වයෝවෘද්ධ කාන්තාව ඉතා අසාධ්‍ය ලෙස රෝගාතුර වී රෝහල්ගත කර ඇත. ලැබුණ පැමිණිල්ලක්‌ අනුව පරීක්‍ෂණ පැවැත්වූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්‍ෂක අමිත පෙරේරා මහතා විසින් එම නඩුව ගොනු කර තිබුණි. අධිකරණයේ නියෝගය පරිදි එම වැරැද්ද සම්බන්ධයෙන් රෝගී කාන්තාව ඇතුළු ජනතාවගෙන් සමාව අයෑද සිට සැකකාරිය විසින් ජාතික පුවත්පතක දැන්වීමක්‌ පළකර තිබීම කෙරෙහි අවධානය යොමුකළ අධිකරණය එම දඩය නියම කළාය.

වැරදි සහගත ඖෂධ භාවිත කර රෝහල් ගතකළ කාන්තාවගේ ඥතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන රන්මුතුගේ මහතා සැකකාරියගේ එම ක්‍රියාව නිසා රෝගියාට සිදුවූ හානියට හා දැරීමට සිදුවූ වියදම් වෙනුවෙන් වන්දියක්‌ ගෙවන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ලබන 7 වැනිදා නිකුත් කරන බව දන්වා අතිරේක මහෙස්‌ත්‍රාත්වරිය නඩුව එදින දක්‌වා කල්තැබීමට නියෝග කළාය. ඖෂධවේදිනියක නොවන තැනැත්තියක ඖෂධ නිකුත් කිරීම සඳහා යොදවා ගැනීම චෝදනාව යටතේ එම ආයතන හිමිකරු වන තිලක්‌ පද්මලාල් මනම්පේරි නමැත්තාට එරෙහිව පවරා ඇති නඩුව ද එදින කැඳවීමට අතිරේක මහෙස්‌ත්‍රාත්වරිය නියෝග කළාය.