ලෝකයේ දිගම ගුවන් ගමන


ලෝකයේ දිගම ගුවන් ගමන වාර්තා කරමින් පසුගියදා කටාර් එයාර්වේස් ගුවන් සමාගමට අයත් යානයක් දෝහා නගරයේ සිට නවසීලනත්යේ ඕක්ලන්ඩ් කරා පියාසර කළේය. මේ සඳහා සම්පූර්ණයෙන් කිලෝමීටර් 14535ක දුරක් සම්පූර්ණ කිරීමට ගුවන් නියමුවන්ට සිදුවූ අතර ඒ සඳහා ගත වී ඇති කාලය පැය දා හතකට මදක් වැඩිය.

කටාර් එයාර්වේස් ගුවන් සමාගම සෑම දිනකම මේ ගුවන් ගමන ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තා වන අතර එහිදී තම අරමුණ වන්නේ මැදපෙරදිග කලාපය කෙරෙහි නැගෙනහිර කෙළවරේ වසන ජනතාව ආකර්ෂණය කර ගැනීම බවද ප්‍රකාශ වී තිබේ.

දිනයකින් බාගයකටත් වඩා ගතවන මේ ගුවන් ගමන සඳහා ආසන 259කින් යුතු බෝයිං 777යානා යෙදවීම කටාර් ගුවන් සමාගම කටයුතු කර තිබේ. එහෙත් මෙහිදී පැන නඟින මූලිකම ගැටලුව වන්නේ මගීන්ට නොයෙක් සංකූලතා ඇතිවීම බවට මත පළ වී තිබේ. පැය දා හතකට අධික කාලයක් ගුවන් යානයක කොටු වී සිටීම සැබවින්ම තාවකාලික සිරගත වීමකට සමාන කළ හැකිය. වැසිකිළියට යාම හැර එකම අසුනක පැය ගණනාවක් එකම ඉරියව්වක හිද සිටීම පහසු කටයුත්තක් වන්නේ නැත. එබැවින් මෙවැනි අති දීර්ඝ ගුවන් ගමන් කෙරෙහි මඟීන් බහුතරයක් දක්වන්නේ අකමැත්තකි. කෙසේවුවද එකී අකමැත්ත ජයගැනීම වෙනුවෙන් ඉදිරියේදී බෝයිං සමාගම මඟීන්ට වඩාත් පහසුකම් සපයන බෝයිං සමාගම පවසා ඇත්තේ තමන් 777x යානා නිපදවීම හරහා මඟීන්ට වඩා වැඩි සේවයක් සැපයීමට අපේක්ෂා කරන බවයි.

කෙසේ වුවද ලෝකයේ ගුවන් ගමන් සේවාවල නව විලාසිතාවක් ලෙස දීර්ඝ කාලීන ගුවන් ගමන් වැඩියෙන් ක්‍රියාත්මකවීම හඳුනාගත හැකිය. මේ වන ගුවන් ගමන ආරම්භ කිරීමෙන් කටාර් ගුවන් සමාගම බිඳ දමා ඇත්තේ මීට පෙර එමිරේට්ස් ගුවන් සමාගම සතුව පැවති වාර්තාවය. එම ගුවන් සමාගම මේ දක්වා ඩුබායි සිට ඕක්ලන්ඩ් දක්වා ගුවන් ගමන් ක්‍රියාත්මක කළ අතර කටාර් ගුවන් සමාගමේ නව ගමන් වාරය එයට වඩා කිලෝමීටර් 322ක් දුරින් වැඩිය. එහෙත් කටාර් ගුවන් සමාගමට මේ වාර්තාව තමන් සතු කර ගත හැකි වනු අැත්තේ තවත් වසරක් වැනි කෙටි කාලයක් පමණක් බව පෙනන්නට තිබේ. ඒ ලබන වසරේ මාර්තු වන විට සිංගප්පූරු ගුවන් සමාගම විසින් බැංකොක් සිට නිව් යෝර්ක් දක්වා ඍජු ගුවන් ගමනක් ආරම්භ කිරීමට නියමිතව ඇති බැවිනි. මේ ගුවන් ගමන ආරම්භ කිරීමත් සමග එය ලෝකයේ දිගින් වැඩිම ගුවන් ගමන බවට පත් වනු ඇති අතර එහි සම්පූර්ණ දුර ප්‍රමාණය කිලෝමීටර් 16000ක් පමණ වනු ඇත.

මෙලෙස මඟීන් පුරවා ගනිමින් ලෝකයේ ඒ කෙළවරේ සිට මේ කෙළවරට පියාසර කිරීම සැබවින්ම සුළු කොට තැකිය නොහැකිය. එය යානයේ නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලයටද අභියෝගයක් වනු නොඅනුමානය. ඍජු ගුවන් ගමන් සේවා හේතුවෙන් මගීන්ට ඉතිරි වන්නේ ගුවන් තොටුපොළවල ගත කරන පැය ගණන් කාලය බව සැබෑය. එබැවින් දිනයකට ආසන්න කාලයක් සිරගතව සිටීමට පුරුදු පුහුණු වීමෙන් ‍තමන් මේ කාලය ඉතිරි කර ගත් බවට සතුටු වීමට මේ නවතම ඍජු ගුවන් ගමන් හේතුවෙන් මඟීන්ට හැකියාව ලැබෙනු ඇත.