සියිටම් වසා දැමිය යුතුයි

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට (සයිටම්) තමා විරුද්ධ බවත්, එය වසා දැමිය යුතු බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

එසේම සයිටම් ආයතනයට එරෙහිව ගනු ලබන ඕනෑම ක්‍රියාමාර්ගයකට සිය සහාය දක්වන බවද අමාත්‍යවරයා කියා සිටියි.මාලඹේ පෞද්ගලික විද්‍යාලයේ උපාධිය ලබාගන්නා සිසුන්ගේ සුදුසුකම් පිළිබඳ ගැටලුවක් පවතින බවදඔහු සඳහන් කරයි.

කෙසේ වෙතත් වෛද්‍ය අධ්‍යාපනය සඳහා සිසුන්ට වැඩි ඉඩකඩක් ලබාදීමට රජයේ වෛද්‍ය විද්‍යාල සංඛ්‍යාව ඉහළ නැංවීම මෙන්ම රජයේ වෛද්‍ය විද්‍යාලවල ඉගෙනගන්නා සිසුන්ගේ ප්‍රමාණයද ඉහළ නැංවීමට අවශ්‍ය ක්‍රියාමාර්ගද ගත යුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අ.පො.ස. උසස්පෙළ විභාගයෙන් දිස්ත්‍රික් කුසලතා මත ඉහළ ස්ථාන ලබාගන්නා, එහෙත් වෛද්‍ය විද්‍යාල සඳහා ඇතුළත් විය නොහැකි ජීව විද්‍යා අංශ සිසුන් රජයේ වෛද්‍ය විද්‍යාල සඳහා බඳවාගැනීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බවද ඔහු පෙන්වා දෙයි. එවැනි දක්ෂ සිසුන්ට පාඨමාලා ගාස්තු ගෙවා රජයේ වෛද්‍ය විද්‍යාලවල සිය වෛද්‍ය උපාධිය සම්පූර්ණ කිරීමේ අවස්ථාවද ලබාදිය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

දැනට වෛද්‍ය විද්‍යාල සඳහා බඳවාගන්නා සිසුන්ගේ සංඛ්‍යාව ඉදිරියේදී අවම වශයෙන් 20%කින් හෝ ඉහළ නැංවිය යුතු බව පෙන්වා දෙන අමාත්‍යවරයා, එය ශ්‍රී ලංකාවේ වෛද්‍ය හිඟය පියවීමට අදාළ ප්‍රමුඛ කරුණක් වන බවද පැවසීය.