කිතු‍ලේ සඟවුණු ගුණ

කිතුල් පිටි කැඳ රක්ත හීනතාවෙන් පෙළෙන අයට මෙන්ම ශරීරය දුර්වල අයට ද අධික ලෙස ශරීරය වෙහෙසවන අයට ද ඉතාමත් ශුභදායකය. එය රත්පිත නිසා නිරන්තරයෙන් කරකැවිල්ල ඇති අයට ද රාත්‍රී නින්ද සොයන අයට ද අත්දුටු ඖෂධයකි.
අම්ල පිත්ත රෝගීන්ට මෙන්ම දියවැඩියා රෝගීන්ට එය ඉතා යහපත්ය. අධිරුධිර පීඩනය ඇති අයට ද ආමාශගත තුවාල, අර්ශස් වැනි අයට ද හොඳයි. පාණ්ඩු රෝගයෙන් පෙළෙන අයට ද කිතුල් පිටි කැඳ යහපත්ය. එමගින් එම රෝග තත්ත්වයෙන් මුදාගත හැකි වේ.

අප ජීවත් වන පරිසරය අවට අපට ගැළපෙන ආහාර වර්ග කොතෙකුත් තිබේ. පරිසරයට බද්ධව වෙසෙන්නෝ ඒ බව දනිති. එනිසාම ඔවුනට බෝවන රෝගවලින් මෙන්ම බෝ නොවන රෝගවලින් ද වැළකී සිටින්නට හැකි වී තිබේ. අද අපට වැලඳෙන නොයෙක් රෝගාබාධයන් පාලනය කර ගැනීමට හෝ අවම කර ගැනීමට අපට බැරි වී ඇති එක හේතුවක් වන්නේ මේ පාරම්පරික දැනුම අපෙන් දුරස් වී තිබිමය. මේ නිසාම ප්‍රතිකාර වෙනුවෙන් අපට විශාල මුදලක් වැයකිරීමට ද සිදුව තිබේ. සංවර්ධනය වන මෙන්ම ණය බරින් පීඩිත රටක් වශයෙන් අපට ඉතා බැරෑරුම් තත්ත්වයකි. තවද අපගේ ස්වභාවික පරිසර පද්ධතියේ ඇති ගහකොළවලින් නිසි ප්‍රයෝජන නොගැනීමත් ඒවා අත්තනෝමතික ලෙස අවභාවිතය කිරීමත් හේතුවෙන් වඳවී යන තර්ජනයට ද මුහුණ පා ඇත.

පාරම්පරික දැනුම
වර්තමානය වන විට මේ තත්ත්වය වෙනස් වීගෙන යන බව ද පෙනේ. පසුගිය දශක කිහිපයේ දී අපෙන් ගිලිහී ගිය මේ දැනුම නැවත අප කරා පැමිණෙමින් ද තිබේ. නව තත්ත්වයේ දෝෂයන් වනුයේ එය හුදෙක් වාණිජකරණයට හසුවීමත් ගුණාත්මක භාවයෙන් හා විශ්වසනීයත්වයෙන් අඩු වීමත්ය. නමුත් නිවැරදි ක්‍රමවේදයකට එහි ගුණාත්මක භාවය රැකේ නම් ඒ අයුරින්ම එය ජනතාව වෙත යන්නේ නම් සමාජයට ගැටලු ඇති වන්නේ නැත. මේ පාරම්පරික දැනුම අදටත් ඉතා සරලව භාවිත කළ හැකිව තිබිය දී ඒවාට අධික මිල ගණන් ගෙවන්නේ ඇයිද යන්න විමතියට කරුණකි.

කිතුල් කප්රුක
අප රටේ ඈත අතීතයේ සිටම කිතුල් මල් මැදීමේ කර්මාන්තය ද පැවැත්තේය. එදිනෙදා ජන ජීවිතයේ පැණි රසෙහි ඉල්ලුම සැපයුණේ කිතුල්වලිනි. රජ මැදුරේ සිට දුගී පැල දක්වා කිතුල කප් රුකක් විය. ‍පොල් ගසෙන් මෙන් කිතුල් ගසෙහි ද විවිධ කොටස් ප්‍රයෝජනයට ගැනීමට අප ජනතාව පුරුදුව සිටියහ. උද්භිද විද්‍යාත්මකව ඛිචපරධබච භපඥදභඵ ලෙස හැඳින්වෙන කිතුල් අප රටේ සිංහරාජයේ මෙන්ම පහතරට තෙත් කලාපයේ ද, අතරමැදි කලාපයේ ද ඉතා හොඳින් වැවෙන ශාකයකි. ඈත අතීතයේ කිතුල හා බැඳි මෙරට ජන ජීවිතය ඉතාමත් සුන්දර එකක් විය. එය කොතෙක් ද කියතොත් කිතුල ගම පවුල හා සමාන කිරීමට ද පැරණි ජනකවියා පුරුදු වී සිටියේය.

‘අපච්චී අපේ ගේ දොර කිතුල වගේ
අම්මා අපේ ඒ කිතු‍ලේ පැණි වාගේ
ලොකු අක්කා ඒ කිතු‍ලේ මල වාගේ
පර අම්මා මා වුස්සා කොළ වාගේ’

එකල සෑම ගෙවත්තකම කිතුල් ගස් කිහිපයක් විය. කිතුල් ජන ජීවිතයට කෙතරම් සමීප ද යන්න මේ ජන කවියෙන් කියැවේ. කිතුල් ශාකයේ සෑම කොටසකින්ම ප්‍රයෝජනයක් ලැබේ. නිවාස තැනීමේ සිට වට්ටි, පෙට්ටි හා අනෙකුත් නිමැවුම් සඳහාත් ඖෂධ සඳහාත් ඒ කිතුල් භාවිත විය. ඈත අතීතයේ උක් ආශ්‍රිත සීනි කර්මාන්තය නොවූ බැවින් කිතුල් පැණි ආශ්‍රිත නිෂ්පාදනවලට මෙන්ම කිතුල් රා සඳහා ද ඉල්ලුමක් තිබිණ. ඒ අනුව කිතුල් රාවල ඉතිහාසය ඉතා ඈතට දිවයයි. ගොවියාගේ සිට මහ රජ දක්වාම රා බිමට රුචිකත්වයක් දැක්වූ බව ජනප්‍රවාදවලින් කියැවේ.

කිතුල් පැණිවල විස්මිත ගුණ
අප අද විශේෂයෙන් ප්‍රයෝජනයට ගනුයේ කිතුල් පැණිය. නොපැසුණු තෙල් දිය ළිප තබා පදමට උණුකර ගැනීමෙන් කිතුල් පැණි සකස් කර ගනු ලැබේ. හකුරු සාදනු ලබන්නේ ඒ පැණි තවදුරටත් උණුකර ඝන බවට පත්කර ගැනීමෙනි. කිතුල් පැණියෙන් රසමසවුළු තනා ගැනීම අතීත ගැමියන්ගේ සිරිත විය. කිතුල් හකුරු සමග බෙලිමල්, රණවරා, ඉරමුසු වැනි ඖෂධීය පානයන් ගැනීමට ඔවුහු පුරුදු වී සිටියහ. කිතුල් පැණි පුවක් කොළපතින් නිර්මාණය කරන ලද මුලකට දමා දුම් මැස්සේ එල්ලා තැබිමට ද ඔවුහු පුරුදුව සිටියහ. කාලයක් ගතවෙත්ම මෙම මුල්වල අඩියෙහි වැලි හකුරු සෑදෙයි. කිතුල් පැණි ඖෂධීය වශයෙන් ද ප්‍රයෝජනයට ගැනෙන්නකි. දේශීය චිකිත්සාවට අදාළ කැඩුම් බිඳුම් ප්‍රතිකාරවල දී ද කිතුල් පැණි භාවිත කරනු ලැබේ. එසේම විවිධ කාන්තා රෝග සුවපත් කිරීමට ද කිතුල් පැණි භාවිත කෙරෙයි. විශේෂයෙන් මාස් ශුද්ධිය සිදු නොවන කාන්තාවන් සඳහා ප්‍රතිකාර කිරීමේ දී කිතුල් පැණි මෙන්ම හකුරු ද යොදා ගනු ලැබේ. කිතුල් හකුරු අක්මා ප්‍රදාහයේ දී ද භාවිත කෙරෙන ඖෂධයකි. නව නීරක්තියෙන් පෙළෙන අයට ද, මධුමේහය, අක්මා රෝග, ආහාර ජීර්ණ පද්ධතියේ රෝග ඇති අයට කිතුල් පැණි මෙන්ම හකුරු ද අහිතකර නොවන්නේය. හදවත ශක්තිමත් කර හදවත් රෝග පාලනයට ද එය ඉතාමත් යෝග්‍යය. අධි රුධිර පීඩනය ඇති අය සඳහා ද කිතුල් හකුරු ඉතාමත් හොඳ ඖෂධයකි.

සර්ප විෂට – කිතුල් මල් හා මුල්
දේශීය චිකිත්සාවේ සර්ප විෂ සඳහා ද කිතුල් මුල් මෙන්ම මල් යොදා ගැනේ. අපේ දේශීය වෛද්‍යවරු ‍පොළොන් විසට ප්‍රතිකාර කිරීමට ළපටි කිතුල් මල් යොදා ගත්හ. ඊට අමතරව සර්පයන් දෂ්ට කළ අවස්ථාවල දී ඉදිමුම අඩුකිරීමට ද යොදා ගත්හ.

කිතුල් ගොබයෙන් රසවත් ව්‍යංජන
ගැමි ජනතාව ළපටි කිතුල් ගසේ ගොබයෙන් රසවත් ව්‍යංජන සකස් කිරීමට ද දැන සිටියහ. විශේෂයෙන් ‍ලේ හා අර්ශස් හෙවත් රක්ත අර්ෂස්, රත්පිත සුවපත් කිරීමට මෙන්ම ශරීරයේ විස ඉවත් කිරීමට ද කිතුල් බඩ මහත් ප්‍රයෝජනවත්ය. කිතුල් බඩ කැඳ පිස්සු බලු විසට මහඟු ඖෂධයක් වේ. රාත්‍රියට නින්ද නොඑන අයට ද හොඳය. එය ඉතා කදිම ස්වභාවික ආහාරයක් ද වෙයි. විශේෂයෙන් ශරීරයේ විස ඉවත් කිරීමේ මහඟු හැකියාවක් කිතුල් ගොබවලට තිබේ.

කිතුල් පිටි කැඳ
තවත් සුවිශේෂ ආහාර අමුද්‍රව්‍යයක් වනුයේ කිතුල් පිටිය. සාමාන්‍යයෙන් කිතුලක මල් හටගැනෙන්නේ ඉහළ සිට පහළටය. කිතුල පීදෙන්නේ අගිස්සේ ඇති අතු මුලිනි. ඉන් පසු සෑම අත්තක් පාසාම මල් පිපෙයි. මල් පිපී අවසන් වූ පසු එම කිතුල කපා කඳ තුළ ඇති කිතුල් බඩය කොටා වතුරේ දමා පෙරයි. ඉන් පසු එය පිටි වියළා ගැනීමෙන් කිතුල් පිටි සාදාගනු ලැබේ. එම කිතුල් පිටි හොඳින් වියළා දුම් මැස්සේ එල්ලා තැබිම පැරණි ගැමියාගේ සිරිත විය. කිතුල් පිටි මිශ්‍රකර විවිධ කැවිලි වර්ග සෑදීමට ද ගැමියා පුරුදුව සිටියේය. නමුත් කිතුල් පිටිවලින් සිදු කරනු ලැබූ ප්‍රධාන කාර්යය වනුයේ කැඳ සෑදීමය. එසේත් නැත්නම් තලප සෑදීමයි. කිතුල් පිටි කැඳ හෝ තලප ‍පෝෂ්‍ය ගුණයෙන් අනූන ආහාරයක් ද විය. රක්ත හීනතාවෙන් පෙළෙන අයට මෙන්ම ශරීරය දුර්වල අයට ද අධික ලෙස ශරීරය වෙහෙසවන අයට ද ඉතාමත් ශුභදායකය. එය රත්පිත නිසා නිරන්තරයෙන් කරකැවිල්ල ඇති අයට ද රාත්‍රී නින්ද සොයන අයට ද අත්දුටු ඖෂධයකි. අම්ල පිත්ත රෝගීන්ට මෙන්ම දියවැඩියා රෝගීන්ට එය ඉතා යහපත්ය. අධිරුධිර පීඩනය ඇති අයට ද ආමාශගත තුවාල, අර්ශස් වැනි අයට ද හොඳයි. පාණ්ඩු රෝගයෙන් පෙළෙන අයට ද කිතුල් පිටි කැඳ යහපත්ය. එමගින් එම රෝග තත්ත්වයෙන් මුදාගත හැකි වේ.

තෙලි දිය
කුඩා දරුවන්ගේ ග්‍රහණි රෝගවල දී තෙලිදිය පෙවීමට එකල ගැමියා පුරුදුව සිටියේය. මේ නිසා රෝග සඳහා වෙනත් ඖෂධීය ප්‍රතිකාරවලට යොමුවීම වැළැක්විණි.

කිතුල් යනු අපට ඇති මහඟු සම්පතකි. වර්තමානයේ උක් සීනි භාවිතය අධික වීම නිසාම මධුමේහය වැනි රෝග තත්ත්වයන් ද වැඩි වී තිබේ. නමුත් අතීත ජනයා එදිනෙදා පැණිරස සඳහා කිතුල් පැණි භාවිත කළ නිසා වෙනත් රෝග ඇතිවීමේ අවදානම ද අඩුවිය.

වර්තමානයේ සීනි ආනයනය කිරීම වෙනුවෙන් විශාල මුදල් සම්භාරයක් පිටරටට ඇදී යයි. නමුත් කිතුල් වැනි කර්මාන්තයක් දියුණු කිරීමෙන් එම මුදල් අප රටේම ඉතිරි කර ගත හැකි වේ. ලාංකිකයාට කිතුල් ගස කප් රුකකට සමානය. එදිනෙදා ජීවිතයේ බොහෝ අවශ්‍යතා සපුරාගැනීම සඳහා කිතුල් භාවිත කළ හැකි වීම ඊට හේතුවයි. නමුත් අවාසනාවකට අද කිතුල් මැදීම සඳහා පළපුරුදු ශ්‍රමිකයන් නැත. අතීතයේ කිතුල් මැදීම ගමේ හැම පිරිමියකුටම පාහේ හැකියාව තිබුණ ද අද වන විට එම කුසලතාව ගිලිහී ගොස් ඇත. තවද ගුණාත්මක තත්ත්වයෙන් යුතු කිතුල් පැණි, හකුරු සහ පිටි දකින්නට ඇත්තේ අල්ප වශයෙනි. වෙළෙඳ‍පොළේ බහුලව ඇත්තේ සීනි මිශ්‍ර පැණි හකුරුය. මේ නිසාම නියම ප්‍රමිතියෙන් යුතු කිතුල් පිටි, පැණි ආදිය ඖෂධ පිණිස යොදා ගැනීමට ද නොහැකි තත්ත්වයක් මතුවී තිබේ.කිතුල් පැණි හකුරු අධිකව භාවිත කිරීමට ද සුදුසු නොවේ. අධිකව භාවිත කිරීමෙන් ශරීරයම මත් කරන බවක් ඇති වේ. ගැබිනි මව්වරුන් සඳහා කිතුල් පැණි මෙන්ම කිතුල් ගොබ ආශ්‍රිත ආහාර වර්ග අහිතකර වේ.

කිතුල් ආශ්‍රිත නිෂ්පාදන ගුණාත්මක තත්ත්වයෙන් සමාජගත කිරීම සඳහා නිෂ්පාදකයන් දිරිගැන්විය යුතුමය. මන්ද යත් රෝග සුවපත් කිරීමේ හැකියාව මෙන්ම සිරුර ලෙඩකරවන උක් සීනි ආශ්‍රිත නිෂ්පාදන භාවිතයට අවම කරලීම සඳහා එය මහත් පිටිවහලක් වනු ඇති හෙයිනි.
දේශීය වෛද්‍ය පාලිත ශ්‍රී ගීගනආරච්චිගේ කථිකාචාර්ය / මා‍ලේවන ශ්‍රී ඥානිස්සර ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය