අද සමාව ගත්තේ නැත්නම් රටපුරා වැඩ වර්ජනය

දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්තුමියට දුරකතන සංවාදයක් මඟින් තර්ජනාත්මකව බැනවැදී අපහාසයක් කළ සමාජ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය කියූ ලෙස අද (3දා) දිනයේදී තම කනගාටුව ප්‍රකාශ කිරීමට නම්‍යශීලී නොවන්නේ නම් දීප ව්‍යාප්තව වැඩ වර්ජනයක යෙදෙන බව දිවුලපිටිය රාජ්‍ය සේවක එකමුතුව පවසයි.

දිවුලපිටිය ප්‍රදේශයේ ස්වාභාවික සම්පත් විනාශ කරන්නන්ගේ පටු අවශ්‍යතා මත ඔවුන්ගේ පෙලඹවීම මත කිසිදු වග විභාගයකින් තොරව ප්‍රාදේශීය ලේකම්තුමියට හෙණ ඉල්ලීම වන සතුන් හේන විනාශ කළවිට ගෙදර ඇති මුව හමට තඩි බෑමක් බවද නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය දැඩි සේ හෙළා දකින බවද එයට තම විරෝධය පළ කරන බවද ඔවුහු පවසති.

තමන් වැඩ වර්ජනය කරනුයේ රජය අපහසුතාවට පත් කිරීමට නොවන බවත් අනාගතයේදී පත්වන රාජ්‍ය නිලධාරීන්ටද මෙවැනි නොහික්මුණු පුද්ගලයන්ගේ බලපෑම්වලින් තොරව නිදහසේ තම සේවය මහජනයා වෙත ලබාදිය හැකි වාතාවරණයක් සකස් කර ගැනීම බවත් ඔවුහු තවදුරටත් පවසති.