දමයන්ති, පවුල පිටින්ම රටින් පැනලා

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් දිසානායක මුදියන්සේලාගේ සුජාතා දමයන්ති ජයරත්න මහත්මිය පවුලේ සියලු දෙනා සමඟ හොර රහසේ රටින් පැන ගොස් ඇති බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (13දා) අනාවරණය විය.

පාවෙන අඩි ගඩබාවක් ස්ථාපිත කර පවත්වාගෙන යෑමට ඇවන්ගාඩ් මැරිටයිම් සර්විස් පෞද්ගලික සමාගමට අවකාශය සැලසීමෙන් රජයට රුපියල් කෝටි 1140ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම පවරා තිබෙන නඩුව ඊයේ සලකා බැලූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

මේ නඩුවේ දෙවැනි සැකකාරිය ලෙස සුජාතා දමයන්ති ජයරත්න මහත්මිය අල්ලස් කොමිසම විසින් නම් කර තිබිණි.

අල්ලස් කොමිසමේ උසාවි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කේ. ප්‍රේමසිරි මහතා අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් කියා සිටියේ සැකකාරියට එරෙහිව අධිකරණයෙන් නිකුත් කළ සිතාසිය භාර දීමට යෑමේදී එම කරුණු අනාවරණය වූ බවයි.

එම කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා සැකකාරිය නොමැතිව නඩුව කැඳවීමට අවසර ලබා දුන්නේය.
සැකකාරිය වෙනුවෙන් නීතිඥ අශෝක වීරසූරිය මහතා පෙනී සිටියි.