ඉංගිරිය පොලිස් භූමියේ පිපිරීමක්

ඉංගිරිය පොලිස්‌ භූමියේ පිටුපස කසළ ගොඩක ඊයේ (13 දා) සිදුවූ පිපිරීමක්‌ පිළිබඳව ඉංගිරිය පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

මෙම කසළ ගොඩ අසල පැරැණි යකඩ පෙට්‌ටියක තිබූ කිසියම් ද්‍රව්‍යයක්‌ මෙම පිපිරීමට මුල් වී තිබේ.

පොලිසියේ කුණු එක්‌රැස්‌ කරන ස්‌ථානයේ සිදුකළ ගිනි තැබීමකින් මෙම පිපිරීම සිදුවී ඇති බව වාර්තා වූ අතර සිද්ධියෙන් අනතුරුව හාත්පස විසිරී ගිය යකඩ කැබලි ආදියෙන් වෙළෙසල්වල සහ නගරයේ බස්‌ නැවතුම් පොළේ වහලයට අලාභහානි සිදුවී ඇති අයුරු දැකගන්නට තිබිණි.

පිපිරීමෙන් අනතුරුව පොලිසිය ඒ පිළිබඳව සොයා බලද්දී අවුරුදු ගණනාවක්‌ තිස්‌සේ තිබූ මෙම යකඩ පෙට්‌ටියේ ඇතැම්විට පුපුරණ ද්‍රව්‍ය සුළු වශයෙන් තිබෙන්නට ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන ඇත.

මෙම පිපිරීම පිළිබඳව විමර්ශනයට රජයේ රස පරීක්‍ෂකවරයාගේද සහාය ලබාගෙන ඇත.

මීට වසර කිහිපයකට පෙර පොලිසිය අවට මාර්ගය ඉදිකිරීමේදී කළු ගල් පුපුරා හැරීම සඳහා ගෙනා පුපුරනද්‍රව්‍ය යකඩ පෙට්‌ටිය තුළ සුළු වශයෙන් හෝ තිබෙන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

සිද්ධියෙන් කිසිවකුට හෝ අනතුරක්‌ සිදුනොවුණු අතර මෙය කුමන හේතුවක්‌ නිසා සිදුවූවක්‌ දැයි සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසිය වැඩිදුර පරික්‍ෂණ පවත්වනු ලැබේ.