මත්පැන් නොබීවත් සිරෝසිස් හැදෙන හැටි

සාමාන්‍යයෙන් අපේ පිළිගැනීම වෙලා තියෙන්නේ අක්මාවේ ලෙඩ හැදෙන්නේ මත්පැන් බොන අයට පමණයි කියලයි. විශේෂයෙන්ම සිරෝසිස් ලෙස හැඳින්වෙන මාරාන්තික අක්මා රෝගය බොන අයට පමණක්ම විශේෂිත රෝගයක් හැටියටයි පොදු පිළිගැනීම. නමුත් ජීවිතේටම මත්පැන් පොදක් කටේ තොලේ නොතියපු කෙනෙකුට වුණත් සිරෝසිස් හැදෙනවා. එයට හේතුව තමා අපේ ආහාර රටාව සහ ජීවන රටාව කියන ශරීර සෞඛ්‍යයට බලපාන ප්‍රධානම කාරක දෙක වැරුදි අන්දමට භාවිතාවීම.

මොකක්ද මේ අක්මාව?
අක්මාව කියන්නේ උදර කුහරයේ දකුණු පැත්තට බරවෙන්නට ඉහළින් පිහිටා ඇති ලොකුම අභ්‍යන්තර අවයවයයි. මෙය දකුණු සහ වම් කණ්ඩිකා ලෙස කොටස් දෙකකින් යුක්තයි. සාමාන්‍යයෙන් වැඩුණු කෙනෙකුගේ අක්මාව කිලෝ 1.5ක් පමණ බරයි. අපි ඔය සතුන්ගේ පීකුද්ද කියලා හඳුන්වන්නේ අක්මාව තමා.

අක්මාවේ වැඩ සහ ලෙඩ
අක්මාවේ කාර්යභාරය නැතිනම් වැඩ අතර ප්‍රධානම දේ තමා රැධිරය පිරිසුදු කිරීම, අනෙක් කාරණය විෂ ද්‍රව්‍ය ඉවත් කිරීම, ඊළඟ කාරණය තමා ආහාරයෙන් ලැබෙන පෝෂණ කොටස් තැන්පත් කර ගැනීම. ඒ කියන්නේ ප්‍රයෝජනට නොගන්නා අමතර පෝෂණ ද්‍රව්‍ය තැන්පත් වීමයි. අක්මාවේ විශේෂයෙන්ම ශරීරයට ගන්නා තෙල් සහ මේද මෙලෙස තැන්පත් වෙනවා. දිගින් දිගටම මේ විදියට තෙල් තැන්පත් වෙනකොට අක්මාව ඉදිමෙනවා. ඒ කියන්නේ ලෙඩ වෙනවා. නොබොන අයට සිරෝසිස් හැදෙන්නේ එහෙමයි.



මොකක්ද මේ නොබොන අයගේ සිරෝසිස්?
දිගින් දිගටම ප්‍රයෝජනයට නොගන්නා තෙල් මේද අක්මාවේ තැන්පත් වුණාම ඒක හඳුන්වන්නේ Fatty Liver තත්ත්වය හැටියටයි. අක්මාව මේ කියන මේදය ඉවත් කිරීමට යෙදෙන දැඩි සටන නිසා එහි සෛල විනාශ වෙනවා. මේ විනාශ වූ සෛල ඝන වීමකට ලක්වෙනවා. ඒවා නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ තමා, සිරෝසිස්.

රෝග ලක්ෂණ මොනවාද?
හැමවිට දැනෙන අධික මහන්සිය, සාධාරණ හේතුවක් නැතිව බර අඩුවීම, ශරීරය දුර්වලවීම සහ උදරයේ දකුණු පස ඉහළ කැක්කුම.

නොබොන්නන්ගේ සිරෝසිස් කොහොමද දැනගන්නේ?
අක්මාවේ කොටස් ඝනවීමකට ලක් කරමින් එහි සෛල අධික ලෙස වැඩකර නොදැනීම ලෙඩ වෙන්න ගන්නකොට අක්මාව තුළ ඇති එන්සයිමයක් ලේවලට එකතු වෙනවා. SGPT කියලා හඳුන්වන්නේ මේ එන්සයිමයයි. ඉතින් රුධිරය පරීක්ෂණයක් කළාම මේ එන්සයිමය තියෙනවාද? එසේනම් කොපමණ ප්‍රමාණයක්ද යන්න අඳුනා ගැනීමෙන් අක්මාවට හානි සිදුව ඇති ආකාරය හඳුනාගන්නට පුළුවනි.

මොනවාද හේතු?
සමහර අයගේ ස්වභාවයෙන්ම අක්මාවේ මේදය තැන්පත්වීම වැඩියි. ඊළඟට තරබාරුබව හේතුවක්. ඉන්සියුලින්වලට ප්‍රතිරෝධි දෙවැනි මට්ටමේ දියවැඩියාව ඇතිවීම නිසාත් අක්මාව ලෙඩ වෙනවා. ඉහළ ප්‍රතිශතයකින් කොලොස්ටරෝල් ඇතිවීම සහ ට්‍රයිග්ලිසරයිඩ ඉහළ යාම සහ පරිවෘත්තිය ක්‍රියාවල සිදුවන වෙනස්කම් ආදියත් මෙයට හේතු හැටියට දක්වා තිබෙනවා.

අන්තිමේදී මොකද වෙන්නේ?
SGPT පරීක්ෂණයක් මගින් අක්මාවේ තත්ත්වය නරක බව දැනගන්නටත් ඒ වගේම Fatly Liver තත්ත්වය ඇති බව වෛද්‍ය පරීක්ෂාවකින් සනාථ වුණහමත් තවදුරටත් ඒ ගැන කටයුතු නොකළොත් සිද්ධවන්නේ අක්මාව මියයන එක. ඊළඟට බඩ ඉදිමෙන්න ගන්නවා. කකුල් ඉදිමෙනවා. ලේ වමනය කරනවා. සිහි නැතිවෙනවා. ශරීරය දුර්වල වෙලා විෂ ද්‍රව්‍ය ශරීරයේ එකතුවෙලා මරණය සිදුවෙනවා.

කොහොමද බේරෙන්නේ?
මෙය වළක්වා ගත හැකි තත්ත්වයක්. කට පරිස්සම් කර ගැනීම තමයි අංක එක. හැකිතාක් තෙල් සහිත ආහාර භාවිතය අඩුකළ යුතුයි. බර පාලනය කරගන්නට කටයුතු කළ යුතුයි. හොඳ පළතුරැ එළවළු වර්ග අක්මාවට ගුණයි. සමබල ආහාර නියමිත කාලසටහනකට ගන්නට පුරුදු වන්න. දිනපතා ඇවිදීම, පිහිනීම, බයිසිකල් පැදීම වගේ ව්‍යායාමයක යෙදෙන්න. හොඳම දේ තමා වතුර, පිරිසුදු ජලය ලීටර 3ක් දිනපතා ගන්න එක.

 සුගත් පී. කුලතුංග ආරච්චි