මාලිංග නැවත පැමිණි තරගයේ ජය ශ්‍රී ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු අගමැතිගේ කණ්ඩායම අතර ඔස්ට්‍රේලියාවේ මනූකා ඕවල් පිටියේ පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක ජයක් ලැබීය. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 6ට ලකුණු 169ක් රැස්කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17.1කදී කඩුලු 5ක් පමණක් දැවී එම ඉලක්කය සම්පූර්ණ කළේය. ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි නායක උපුල් තරංග නොදැවී ලකුණු 47ක් රැස්කරනු ලැබීය.

ඔහුට අමතරව නිරෝෂන් දික්වැල්ල ලකුණු 47ක්, ඩිල්ෂාන් මුණවීර ලකුණු 32ක් හා මිලින්ද සිරිවර්ධන ලකුණු 25ක් රැස්කළේය. මෙම තරගයේදී වසරකට පමණ පසුව ලසිත් මාලිංග තරගකාරි ක්‍රිකට් පිටියට පිවිසි අතර ඔහු පළමු පන්දුවාරයේදීම කඩුල්ලක් දවා ගත්තේය. නියමිත පන්දුවාර 4 තුළදි ලකුණු 26ට එක් කඩුල්ලක් මාලිංග දවා ගත්තේය.
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරග මාලාවක් වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාගේ කණ්ඩායම ක්‍රීඩා කරන පෙරහුරු තරගයක් සංවිධානය කළ පළමු අවස්ථාව ලෙස ශ්‍රෘ ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා අගමැතිගේ කණ්ඩායම අතර අද (15දා) කැන්බරාහි මනූකා ඕවල් පිටියේ පැවැති තරගය ඉතිහාසයට එක්වෙයි.

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතාද ඒ බව තහවුරු කළේය. පෙරහුරු විස්සයි විස්ස තරගයට පෙරාතුව පැවති විශේෂ භෝජන සංග්‍රහයේදී ටර්බුල් මහතා මේ බව පැවැසීය.

තරගයේ කාසියේ වාසිය උරගා බලන අවස්ථාවට ද අග්‍රාමාත්‍යවරු දෙපළ සහභාගී වූ අතර කාසියේ වාසිය උරගා බැලිම සඳහා ශ්‍රී ලංකාවේ කාසියක් උපයෝගී කර ගෙන තිබුණි.

පෙරහුරු තරගය නැරඹීහ සඳහා අග්‍රාමාත්‍යවරු දෙපළද එක්විය.