දියණියට අතවර කළ මවගේ පෙම්වතා

එදාවේල යන්තම් පිරිමහගන්නවත් හරිහැටි වත්කමක් නොතිබුණත් තිලක් කිසිම වෙලාවක නෙළුම්ට දුකක් දුන්නේ නැහැ. මේ දෙන්නා කුරුළු ජෝඩුවක් වගේ බෝහෝම සතුටින් ගෙව්ව ජීවිතය හරිම ලස්සන සුරංගනා කථාවක් වගේ වුණාට කාලයක් ගතවෙනකොට හිතා ගන්නටත් බැරි විදිහට තිලක් නෙළුම්ව දලා, යන්නම ගියා. එයා එහෙම ගියේ නෙළුම්ලාගේ කැදැල්ලට තිලක්ට දාව පුංචි දියණියක් ඉපදුණු දවසේමයි. තිලක් නෙළුම්ව තනි කළේ ඇයට ඉපදුණේ ගෑණු දරුවෙක් වුණු හින්දයි.

තිලක්ට තිබුණු ආදරේත් එක්ක දරුවාවත් එක්ක තනි වුණු නෙළුම්ට පිහිටට හිටියේ කවදත් තමන්ගේ හෙවනැල්ල වුණේ නෙළුම්ගේ අම්මා විතරයි. කර කියා ගන්න වෙන දෙයක් නැති තැන මහ ගෙදරට ගියත් තමන්ගේ අම්මලත්, අයියලත් ජීවත් වෙන්න දරණ දහ දුක දැකලා නෙළුම්ට තමාගේ ජිවිතේ ගැන දැනුනේ පුදුමාකාර වේදනාවක්. ඒත් තමන්ගේ සිඟිති දියණියව කොහොම හරි හදා ගන්නට ඕනේ නිසාත් තමන් ගේ මහගෙදරට හයියක් වෙන්න කියලා හිතාගෙන ගෙදරට ළඟ තිබුණු වැඩ පළකින් රස්සාවක් හොයාගත්තා. මොනතරම් අඟහිඟකම් තිබුණත් ඒ රස්සාව කරලා හම්බකරන සොච්චමින් තමන්ගේ දරුවාගේ වුවමනා එපාකම් ඉටු කරගන්නට යන්තම් පුළුවන් වුණා. නෙළුම් දුවට නම තිබ්බේ සුපිපි කියලා. මේ විදිහට කාලය ගත වෙලා සුපිපි ඉස්කොලේ යන්නත් පටන් ගත්තා. දරුවට උගන්නන ගමන් තමන්ගේ අම්මටත් හයියක් වෙන්න තරම් ශක්තියක් ඒ වෙනකොට නෙළුම්ට තිබුණා.

දවසක් නෙළුම්ට එයා වැඩ කරන තැන යාළුවෙක්ගේ මාර්ගයෙන් පෙම්වතෙක් අඳුනගන්නට ලැබෙනවා. නෙළුම් එයාව අඳුනගන්නේ මොබයිල් එකෙන්. එයාගේ නම සිසිර.

“මම ඔයාගේ දුවට හොඳ තාත්තා කෙනෙක් වෙන්නම්. ඔයාට හොඳ මහත්තයෙක් වෙන්නම්.”

සිසිරගේ මේ වචන පාළුවෙන් තනිකමින් හිටිය නෙළුම්ගේ ජීවිතේට අලුත් වැස්සක් වැටුණා වගේ. නෙළුම් තමන්ගේ දියණියත් එක්ක අම්මලාගෙන් වෙන්වෙලා සිසිරත් එක්ක එකට ජීවිත් වෙන්න තීරණය කළා. ඒ වෙනකොට සුපිපිට වයස අවුරුදු 08ක් පිරුණා විතරයි. හැබැයි, ඒ වෙනකොට නෙළුම් සිසිරව විශ්වාස කරලා එයත් එක්ක එකට ජීවත් වුණත් විවාහ වෙලා හිටියේ නැහැ. මුල් කාලෙදී නෙළුම්ට සිසිරවත්, සිසිරට නෙළුම්වත් නොදැක ඉන්න පුළුවන් වුණේ නැහැ. කිසිම දිනෙක පිය සෙනෙහසක් නොලැබු සුපිපිටත් සිසිරගෙන් හිමි වුණු ආදරේ මහමෙරක් වගේ. හැබැයි මේ ආදරේ වැඩි දවසක් නම් තිබුණේ නැහැ. සිසිර හිතාගන්නවත් බැරි විදිහට වෙනස් වෙන්න පටන් ගත්තා. හිතට ඇතිවුණු තැති ගැනීම හින්දා නෙළුම් කසාද බඳිමු කියලා සිසිරට ඇවිටිලි කළත් එයා කියන දේ සිසිර එතරම් ගණන් ගත්තේ නැහැ.

නෙළුම්ට ඒ විදිහට සැලකුවත් සිසිර දරුවට දක්වපු ආදරේ නම් අඩුවක් කළේ නැහැ. හැබැයි මේ ආදරේ තාත්තා කෙනෙක් දියණියක සමඟ පවතින ආදරයට වඩා අසාමාන්‍ය ආශාවක්. සිසිර සුපිපිට කියලා විවිධ දේවල් තමා ළඟට ගෙන්වා ගන්නා මුවාවෙන් ඇගේ රහස්‍ය ප්‍රදේශ පවා ස්පර්ශ කරන්නට පටන්ගෙන තිබුණා. කොහොම වුණත් වැඩි දවසක් යන්න කලින් සුපිපි වැඩිවියට පත්වුණා.

දරුවා ගැන එක් අතකින් නෙළුම් සතුටු වුණත් සිසිරගේ වුවමනාව වුණේ අමුතුම විදිහේ දෙයක් කියලා දැන ගත්ත නෙළුම්ගේ හිතට නිවනක් තිබුණේ නැහැ. ඒ විතරක්ම නෙමෙයි. සිසිර, නෙළුම්ලවා දරුවාගේ කන්‍යාභාවය වගේ වැඩිවියට පත්වුණු දරුවෙක් ආරක්ෂා කර ගන්න ඕන දේවල් ගැන නිතරම අවවාද කළා. එයා මේ දේවල් කරන්නේ ඇත්තටම තමාට දක්වන පිය සෙනෙහස නිසාම නෙවෙයි කියන දේ සුපිපි පුංචි වුණත් හොඳටම තේරුම් අරගෙනයි හිටියේ.

අසාමාන්‍ය විදිහට තමාව ස්පර්ශ කරන නිසා මේ ගැන අම්මට කියන්න දහස් වරක් සුපිපි කල්පනා කළත් මොනවහරි ප්‍රශ්නයක් වෙයි කියන බයට එයා අම්මට නොකියා ඉන්න හිතුවත් කරගන්නට දෙයක් නැති තැන ඒ ගැන අම්මට ටිකක් විතර විස්තර කිව්වා.

කොහොම හරි සිසිර දක්වපු මේ ආදරේ බලහත්කාරකමක් වෙන්න ගියේ එතරම් කාලයක් නෙවෙයි. එයා බලහත්කාරකම් කරනවා විතරක් නෙවෙයි. ඒ බව කාටවත් කිව්වොත් අම්මාවයි දුවයි මරලා දානවා කියලත් තර්ජනය කළා. එතැනින් විතරක් නොනැවතුණු සිසිර තමන්ගේ අම්මාවත් ගෙන්න ගෙන එයාටත් බොරු කථා කියලා සුපිපිටයි නෙළුම්ටයි දස වද දුන්නා.

කොහොම හරි මේ පීඩනය දරාගන්නම බැරිතැන සිසිර නැති වෙලාවක් බලලා අහල පහළ ගෙවල් වලට ගිහින් සල්ලිත් හොයාගෙන ඒ ගොල්ලෝ පොලිසීයේ පිහිට පැතුවා. පොලිසියෙන් රෝහල දක්වා පැමිණි මේ දරුවත් අම්මත් පිළිබඳ රෝහල මාර්ගයෙන් ද විමසීමට ලක් කළා. වාසනාවට සුපිපිට ලිංගික රෝගයක් නම් ඇතිවෙලා තිබුණේ නැහැ. දැනට මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා විතරක් නෙමෙයි. නැවත වරක් නෙළුම්ගේ අම්මා ඒ කියන්නේ සුපිපිලාගේ ආත්තම්මගේ රැකවරණයට යන්නත් නෙළුම්ලට ඉඩ ලැබුණා.

කොහොම වුණාත් සුපිපිට නෙළුම්ට මුහුණ දෙන්න වුණු මේ කථාව ජීවිතය පිළිබඳව බොහෝ දෙනෙකුට බොහෝ පාඩම් කියා දෙනවා. විශේෂයෙන් දික්කසාද වුණු දරුවන් සිටින කාන්තාවක් වෙනත් විවාහයක් ගැන හිතන කොට බොහොම ප්‍රවේශම් වෙන්නට අවශ්‍යයයි. විශේෂයෙන් ජංගම දුරකථනයෙන් සම්බන්ධතා ඇති කර ගන්නවා නම් ඒ අවධානය දෙගුණ තෙගුණු කරන්නත් ඕනේ. ඒ වගේම මේ සම්බන්ධකම් කොයිතරම් භායානක ද කියන කාරණෙත් අවබෝධ කර ගන්න ඕන.

ඒ විතරක්ම නෙමෙයි නීත්‍යානුකූලව බැඳීමක් නැතිව කිසිම වගකීමක් නැතිව තාවකාලික ආකර්ෂණය මත පදනම් වෙලා එක්ව ජීවත් වීමට යමෙක් තීරණය කරනවා නම් තමාගේ ජීවිතය පමණක් නොවෙයි දරුවන් සිටිනවා නම් ඔවුන්ගේ ජීවිත පවා ඇද දමන්නේ යහපතට නම් නොවේ. එම තීරණය තමාගේ ජීවිතය පමණක් නොවේ දරුවන්ගේ අහිංසක ජීවිතද ශෝකාන්ත බව පරිවර්තනය කිරීමට හේතුවක් බවට පත් වෙන්නට පුළුවන්. තවත් කෙනෙකුට ලැබුණු අත් දැකීමක් ආදර්ශයට අරගෙන තමාගේ ජීවිත වල තිබෙන ගැටලු හදාගන්න හිතන කාටත් නෙළුම්ගේත් අහිංසක සුපිපිගෙත් කථාව හොඳ ආදර්ශයක් වේවි.

නුවන්ති කුලරත්න