රංජන් රාමනායක සමාව ගත යුතු නෑ

දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට බැන වැදුණේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා කිසිසේත් එම ප්‍රාදේශීය ලේකම්වරියගෙන් සමාව ගත යුතු නැතැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

ප්‍රාදේශීය ලේකම්වරිය රාජ්‍ය නිලධාරිනියක වීම සහ විශේෂයෙන් ම ඇය කාන්තාවක වීම යන කාරණාවල වටිනාකම තමා කිසිසේත් ලඝු කොට සලකන්නේ නැතැයි කී මන්ත්‍රීවරයා එහෙත් ඇය දිවුලපිටිය ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයා මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවගේ නියෝජිතයා ද වන රාජ්‍ය ඇමැතිවරයා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන් ආකාරය කිසිසේත් අනුමත කළ නොහැකි යැයිද කියයි.
නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා ප්‍රාදේශීය ලේකම්වරියගෙන් ඉඩම් ගොඩකිරීමේ බලපත්‍රයක්, පස් හෝ වැලි ගොඩදැමීමේ බලපත්‍රයක් හෝ ඉල්ලා නොසිටි බව කී මන්ත්‍රීවරයා, ඔහු විමසුවේ පස් කැපීම හා ගොඩදැමීමේ සිද්ධියක් හේතුවෙන් මතුව තිබෙන පාරිසරික හානිය සම්බන්ධ ගැටලුවක් ගැන බවත් පෙන්වා දෙයි. නියෝජ්‍ය ඇමැතිවරයා කළ විමසුමට ප්‍රාදේශීය ලේකම්වරිය ප්‍රතිචාර දැක්වූ ආකාරය කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, ‘ඒ ගැන පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න, ලිඛිතව දන්වන්න‘ යැයි පැවසීමෙන් ම මෙහි ඇයට සැඟවීමට යමක් ඇති බව පෙනී යන බවත් සඳහන් කරයි. නියොජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා කතා කළ ස්වරය හරි නැතත්, ඔහු ඉදිරිපත් කළ කරුණුවල වරදක් නොමැති බවද, එවැනි ස්වරයකින් කතා කරන තැනට නියොජ්‍ය ඇමැතිවරයා පත් කළේ ප්‍රාදේශීය ලේකම්වරිය බව ද සඳහන් කරයි. තමා ඉල්ලා අස්වන බවට රංජන් රාමනායක මහතා පැවසූ බවට වෙබ් අඩවියක පුවතක් පළවී තිබෙනු දුටු බවත්, එහෙත් ඔහු එසේ ඉල්ලා අස්නොවිය යුතු බව තම පෞද්ගලික අදහස බවත්, ඔහු අස් වන්නේ නම් එයට කළින් ඉවත් විය යුත්තේ එම තනතුරේ වසර 5කටත් වැඩි කාලයක් රැඳී සිටින ප්‍රාදේශීය ලේකම්වරිය බවත් කීය. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා මේ බව පැවසුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ (31) පැවැති මාධ්‍ය හමුවේ දී මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මතු කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.