සන්නද්ධ පාතාල කල්ලි 17 ක්‌ යාපනේ

යාපනය අර්ධද්වීපය තුළ සන්නද්ධ පාතාල කණ්‌ඩායම් 17 ක්‌ ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පොලිස්‌ බුද්ධි අංශ විසින් අනාවරණය කර ගෙන ඇත. මෙම පාතාල කල්ලිවලින් වැඩි ප්‍රමාණයක්‌ තියුණු ආයුධවලින් සන්නද්ධ වී සිටීම විශේෂත්වයක්‌ බව පොලිසිය පවසයි.

මෙම පාතාල කල්ලි පසුගිය වසර කීපය තුළදී යාපනය අර්ධද්වීපයේ අපරාධ 127 ක්‌ සිදුකර ඇති බවද හෙළිවී තිබේ.

මුදල් කොන්ත්‍රාත් මත විවිධ පුද්ගලයන් කපා කොටා තුවාල කිරීම, ඝාතනය කිරීම, නිවාස වෙළෙඳ සල් ඇතුළු දේපළ වලට පහරදී හානි කිරීම, කප්පම් ගැනීම, කොල්ලකෑම ඇතුළු අපරාධ ගණනාවක්‌ ඊට අයත්වන බව උතුරේ ආරංචි මාර්ග කියා සිටියි.

මෙම පාතාල කල්ලි අතර ආවා ගෲප්, ඩිනෝ ගෲප් වැනි ප්‍රසිද්ධ පාතාල කල්ලි අයත් වන අතර අවුරුදු 18, 20 වයස්‌ සීමාවල පසුවන ලාබාල තරුණයන්ගෙන් සැදුම් ලත් පාතාල කල්ලි ද ඊට අයත්වන බව බුද්ධි අංශ ආරංචි මාර්ග කියා සිටියි.

මීට දින කීපයකට උඩදී ද යාපනයේ ක්‍රියාත්මක වන පාතාල කල්ලියක්‌ තියුණු ආයුධ රැසක්‌ සමග පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. යාපනය අර්ධද්වීපය පුරා ක්‍රියාත්මක වන මෙම පාතාල කල්ලි පිළිබඳව තොරතුරු බොහොමයක්‌ පොලිසිය මේ වන විට සොයාගෙන ඇති අතර එම පාතාල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් මේ වන විටත් ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

පසුගිය වසර කීපය තුළ විවිධ අපරාධ කළ පාතාල සාමාජිකයන් 221 දෙනෙක්‌ අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවද පොලිසිය කියා සිටියි.