මහින්ද අගමැති කරන බවට නුගේගොඩ දී ප්‍රතිඥා

මේ වසර තුල දි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරවීමට කටයුතු කරන බව ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ 'පෙරලියක ඇරඹුම' නුගේගොඩ විරෝධතා රැළිය ඇමතු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීමත් සමග එම අවස්ථාවට එක්ව සිටි දහස් සංඛ්‍යත ජනතාව එය අනුමත කරමින් ප්‍රතිචාර දැක්විය.

‘චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය එදා ශ්‍රීලංකා නිදහස් පක්ෂය දාලා ගියත් මහින්ද මහතා එසේ ගියේ නෑ. පක්ෂයේ සිටින පිරිසිදු සාමාජිකයා මහින්ද රාජපක්ෂ මහතායි. සමලිංගිකත්වයට කැමති අය ශ්‍රීලනිපයේ නෑ.‘ යනුවෙන්ද මන්ත්‍රීවරයා එහිදි කියා සිටියේය.

නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පිඨයේදී මෙම රැලිය පැවැත්විණ. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ ප්‍රධානත්වයෙනි.

රැළියට සහභාගී වී සිටි ඇතැම් පිරිස් කොස් කොළ සහ ක්‍රෝටන් කොළ රැගෙනවිත් සිටියේය.

ප්‍රෝඩාකාරී ව්‍යවස්ථාවක් :

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජන රැලිය අමතමින් මෙසේ පැවසිය.

“මේ සෙනඟ දැක්කම අපේ නායකයන්ට අද කොයි පැත්තෙන් ඇඬෙයිද කියලා මට සැකයි. එදා පැරදිලා ගෙදර ගියේ විශ්‍රාම ගන්නයි. විවේක ගන්නයි. නමුත් මේ නුගේගොඩින්ම අපේ නායකයන් රැස් වෙලා මට විශ්‍රාම යන්න දුන්නේ නෑ. විධායක බලය පාර්ලිමේන්තුවට ගේනවා කියලයි පොරොන්දු වුණේ.

නමුත් කළේ ප්‍රෝඩාකාරී ව්‍යවස්ථාවක් ගෙන එන එකයි. අපි ගත්තේ දීර්ඝකාලීන ණය. ජනතාව රවටා බලයට ඇවිත් අද කරන්නේ මේ රට ණය කළ එකයි. දැන් කියනවා මම ඕනෑකමින් පැරදුණාලු. අද කරන්නේ රාජ්‍ය ආයතන විකුණන එකයි.

සමලිංගික කතා මොන්ටිසෝරි සිලබස් එකටත් :

වාහන අවභාවිත කරන්න අනුබල දුන්නා කියා විමල් හිරේ දැම්මා. දැන් වාහන නොවයි හෙළිකොප්ටරුත් තියෙනවා.

මොන්ටිසෝරි සිලබස් එකටත් සමලිංගික කතා දාන්න යනවා. අපේ දෙමාපියන් මේ ගැන අවබෝධයෙන් ඉන්න ඕනෑ. අපේ සංස්කෘතිය සබ්‍යත්වය රැකගන්න ඕනෑ.

මේ රැස්වීම සංවිධානය කරලා අපි කියන්නේ මේ ආණ්ඩුව ගෙදර පලයං කියලයි.''

ජනතාවගේ ජනාධිපති:

නීතියෙන් ජනපති සහ අගමැති හිටියත් ජනතාවගේ ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතා යයි ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා මෙහිදී පැවසිය.
Peraliyaka Arabuma - Nugegoda Rally Photos