දියවැඩියාවට මෙන්න නියම පිළියම්

වර්තමාන සමාජයේ ජනතාව අතරින් බහුතරයක්‌ම ලෙඩ්ඩුය. කුමන පුද්ගලයකු සමග හෝ කතා කරද්දී ඔහු අවසාන ලෙස පවසන්නේ තමාට වැළඳී ඇති කුමක්‌ හෝ රෝගයක්‌ පිළිබඳවය. එසේත් නොමැති නම් තම නිවසේ කෙනෙකුට හිතවතකුට වැළඳී ඇති රෝගී තත්ත්වයක්‌ පිළිබඳවය. රෝහලකට පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්‌ථානයකට ගිය විට මෙම තත්ත්වය නොව තේරුම් ගැනීමට හැකියාව ලැබෙන අතර ප්‍රතිකාර ගැනීම සඳහා එම ස්‌aථානවල ඉතා විශාල ජනතාවක්‌ නිතර ගැවසෙනවා අප නිතරම දැක ඇත.

බොහෝ විට සමාජය රෝගී කරන මෙම රෝග අතරිනුත් ප්‍රධාන තැනක්‌ බෝ නොවන රෝගවලට හිමිවන අතර ඒ තුළිනුත් දියවැඩියාව (මධුමේහය) රෝගය වැඩිම පිරිසක්‌ පීඩා විඳින රෝග තත්ත්වයක්‌ ලෙස පෙන්වා දිය හැක. මෙම දියවැඩියාව රෝගය වැළඳුණු රෝගීන් විවිධ අතුරු රෝගී තත්ත්වයන්වලින්ද පීඩා විඳින අතර දියවැඩියාව සමගම පැමිණෙන එම පීඩාවන් රෝග ලක්‍ෂණයන් අතරිනුත් වැඩිම පිරිසක්‌ අපහසුතාවන්ට පත් කරන අතපය හිරි වැටීම පිළිබඳ අප මෙවර කතාබස්‌ කරන්නට සිතුවෙමු. ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා සමග මෙම රෝගී තත්ත්වය පිළිබඳ කළ සාකච්ඡාවක සංක්‌ෂිප්ත සටහනක්‌ මෙලෙස ඔබ වෙත ගෙන එන්නෙමු.

* කුමක්‌ද මේ දියවැඩියාව කියන්නේ. ඇයි සමාජය මෙතරම්ම දියවැඩියාවට බියක්‌ දක්‌වන්නේ?

ඇත්තටම දියවැඩියාව ලෙස හඳුන්වන්නේ ප්‍රධාන වශයෙන්ම ශරීරයේ සීනි මට්‌ටම ඉහළ යැමයි. මෙම සීනි ප්‍රමාණය ඉහළ යැමත් සමඟ ශරීරයට ඇතිවන විවිධ සංකූලතා තමයි මෙම රෝග ලක්‍ෂණ ලෙස හඳුන්වන්නේ. බොහෝ විට මෙම රෝගී තත්ත්වය ජාන ඇසුරින්ද ඇති විය හැකි අතර වැඩිම පිරිසක්‌ මෙම රෝගයට ගොදුරුවන්නේ නිසි ලෙස තම දේහ පාලනයකින් තොරව කටයුතු කිරීමෙන් බවද පැවසිය යුතුමයි. විශේෂයෙන්ම වර්තමානයේ බොහෝ පිරිසක්‌ මෙම රෝගී තත්ත්වයට ගොදුරු වන්නේ නිවැරැදි ආහාර රටාවක්‌ අනුගමනය නොකිරීම සහ ක්‌ෂණික ආහාරවලට වැඩිපුර යොමුවීම තුළිනුයි.

මෙම රෝගය වැළඳුණු විට එය ඉතා අහිතකර ලෙස ශරීරයේ ක්‍රියාකාරීත්වයට බලපෑම් කරනු ලබන අතර මෙම රෝගී තත්ත්වය නිහඬවම මිනිසාගේ සිරුරට කරනු ලබන හානිදායක තත්ත්වය නිසා බොහෝ අය මෙම රෝගය "නිහඬ මාරයා" යන අන්වර්ථ නාමයෙන්ද හඳුන්වන්නේ මෙහි ඇති බැරෑරුම් කම නිසාය. එම නිසා මෙම රෝගයේ සංකූලතා හඳුනා ගැනීම සහ මේ සඳහා කඩිනමින් ප්‍රතිකාර ගැනීම ඉතා වැදගත් වෙනවා. මෙන්න මේ තත්ත්වය නිසා බොහෝ රෝගීන් දියවැඩියාව රෝගයට දැඩි බියක්‌ දක්‌වනවා.

* අද අප කතා කරන්නේ මෙම රෝගය වැළඳුණු රෝගීන්ට බලපාන තවත් රෝග තත්ත්වයක්‌ ගැනයි. එනම් අතපය හිරිවැටීම ගැනයි. ඇයි දියවැඩියාව රෝගීන්ගේ අතපය හිරිවැටීම සිදුවන්නේ.

මෙම රෝගයෙන් පීඩා විඳින්නන් බහුතරයක්‌ ගොදුරුවන අමතර රෝගී තත්ත්වයක්‌ තමයි ඔවුන්ගේ අතපය හිරිවැටීමේ තත්ත්වය. මෙම රෝගීන් හුඟ දෙනෙක්‌ පවසන්නේ ඔවුන් දෙපයින් ඇවිදින විට යටිපතුල් කොට්‌ටයක්‌ උඩ ඇවිදිනවා ලෙස දැනෙන බවයි. ඒ වගේම ඔවුන් පාවහන් පැළඳ සිටියත් ඒ බව ඔවුන්ට නොතේරෙන බවත් පවසනවා. මීට අමතරව දණහිස්‌, උරහිස්‌ මෙන්ම වැලමිට ඇතුළු විශාල සන්ධි ආශ්‍රිතව ඇතිවන අධික වේදනා තත්ත්වයන් ගැන රෝගීන් අප සමග පවසනවා. සමහරුන්ට මෙම වේදනාකාරී තත්ත්වයන් උදැසන කාලයේදී ඇතිවන අතර තවත් සමහරුන්ට මෙම වේදනාවන් දිවා කාලයේද තවත් පිරිසකට රාත්‍රියේද ඇතිවීමට හැකියාව පවතිනවා. යම් ලෙසකින් දියවැඩියාව වැළඳුණු රෝගීන්ට මෙම අත්පාවල හිරි ගතිය ඇතිවනවා නම් ඊට හේතු ලෙස අදාළ රෝගියාගේ ස්‌නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයේ දුර්වලතාවක්‌ නිසා මෙම තත්ත්වය ඇතිවීමේ හැකියාව පවතිනවා. මන්ද මෙම දියවැඩියා රෝගී තත්ත්වය නිසා ස්‌නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය නිසි පෝෂණ තත්ත්වයන් නොලැබීම නිසා එම පද්ධතියේ ඇතිවන අඩුපාඩුකම් නිසා මෙම තත්ත්වය ඇතිවිය හැකියි.

දියවැඩියා රෝග ලක්‍ෂණවලින් පෙළෙන අයකුට ආතරයිටීස්‌ රෝගය වැළඳුණොත් මෙම වේදනාවන් දෙගුණ තෙගුණ විය හැකියි. එම නිසා මෙම රෝගයට ප්‍රතිකාර ලබාදීමේදී නිසි විමසීමකින් පරීක්‍ෂාවකින් පමණක්‌ම කළ යුතුයි.

* වෛද්‍යතුමනි මෙම අතපය හිරිවැටීම සමඟම මෙම රෝගීන්ට බලපාන තවත් රෝග ලක්‍ෂණ සඳහන් කළොත්.

බොහෝ විට මෙවැනි රෝගීන් අතර දැකගත හැකි රෝග ලක්‍ෂණයක්‌ ලෙස මළ බද්ධය හඳුන්වා දිය හැකියි. ඒ වගේම මළ බුරුලට යැම, මළ බද්ධය සමගම සම මත ඇතිවන කැසීම, පළු දැමීම වැනි සමේ රෝගද ඇතිවිය හැකිය. හිස කැක්‌කුම ද මෙවැනි අයට වැළඳිය හැකි තවත් රෝගී තත්ත්වයක්‌ නින්ද නොයැම, අධික ලෙස මුඛයෙන් දුර්ගන්ධයක්‌ පිටවීම, කේන්ති යැම, පීනස්‌ රෝග උග්‍රවීම, මුඛයේ තුවාල හට ගැනීම, ඇස්‌වලින් කඳුළු ගැලීම හා ඇස්‌ වියළීම වැනි තත්ත්වයන්ද බහුලවම දැකිය හැකියි.

* මෙවැනි රෝගීන් ආයුර්වේද ප්‍රතිකාර කරා යොමුවීමෙන් නිසි සුවයක්‌ ලැබිය හැකිද?

අනිවාර්යයෙන්ම ආයුර්වේද ප්‍රතිකාර තුළින් මෙවැනි රෝගීන්ට සුවය ලබාගත හැකියි. විශේෂයෙන්ම මෙවැනි රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමේදී ඔවුන් නිවැරැදි පරීක්‍ෂාවකින් පසු වැළඳී ඇත්තේ දියවැඩියා රෝග ලක්‍ෂණද ආතරයිටිස්‌ වැනි රෝගද ලක්‍ෂණ ද කියා දැනගෙන ඒ සඳහා ප්‍රතිකාර ඇරඹිය යුතුයි. විශේෂයෙන්ම ආයුර්වේද ප්‍රතිකාර සමඟම වෛද්‍යවරයා පවසන අයුරින් නිසි ආහාරපාන ලබා ගැනීමෙන් නිවැරැදි ලෙස ජීවන රටාව සකස්‌ කර ගතහොත් ඔවුන්ට ඉක්‌මනටම මෙම රෝගී තත්ත්වයන් සුවකර ගැනීමට හැකියාව පවතිනවා.

ඉතාමත් කාර්යබහුල අයට පවා ලබාගත හැකි අයුරින් ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම අප සලසා ඇති බැවින් වර්තමානයේ බොහෝ රෝගීන් ආයුර්වේද ප්‍රතිකාර ලබාගෙන තමන්ගේ රෝග සුවකර ගැනීමට අද ආයුර්වේද ප්‍රතිකාර දෙසට යොමු වෙනවා.