අධික රෝම වර්ධනයට ප්‍රතිකාර

අධික ලෙස රෝම වර්ධනය කාන්තාවන්ට බරපතළ මානසික ආතතිය ඇතිකරවන තත්ත්වයකි. මෙම අධික රෝම වර්ධනය සමහරුන්ට පවුලේ ආරයට ඇති වේ. නමුත් සමහරුන්ට මෙම තත්ත්වය හෝර්මෝන වෙනස්‌කම් නිසාද ඇති වේ.

අද සමාජයේ සුලභව දක්‌නට ලැබෙන Polycysitc Ovary Disease නමැති රෝගී තත්ත්වය මෙම අධික රෝම වර්ධනයට බලපාන ප්‍රධාන හේතුවකි. මෙහිදී හිසකෙස්‌ අකලට ගැලවී යැම, රෝම වර්ධනය, තරබාරු කම, කුරුළෑ වර්ධනය සහ ආර්ථව චක්‍රයේ අක්‍රමිකතා ඇතිවීම සිදුවේ.

මෙම තත්ත්වය ඇතිවන්නේ සාමාන්‍යයෙන් වයස අවුරුදු 16 පමණ සිටය.

මෙම තත්ත්වය ඇතිවීමට හේතු සොයාගෙන නොමැති නමුත්. කුඩා කළ සිටම ස්‌ථුල ගැහැනු දරුවන් මෙම තත්ත්වයට වැඩිපුර ගොදුරු වන බව පෙනේ.

මෙම තත්ත්වය ඇතිවූ විට ප්‍රධානම කාර්යය වන්නේ ආහාර පාලනය සහ ව්‍යායාම කිරීමයි. ඒ හැරුණු විට මෙම රෝගය සඳහා ගැලපෙන ඖෂධ වර්ග ගණනාවක්‌ ඇති නමුත් ඒ සෑම ඖෂධයම සෑම රෝගියාටම සුදුසු නොවේ.

රුධිර පට්‌ටිකා සරු ප්ලාස්‌මා ප්‍රතිකාරය (PRP -
Platelet Rich Plasma treatment)

PRP යනු නවතම සැත්කම් රහිත ප්‍රතිකාර ක්‍රමයක්‌ වන අතර එය විවිධ කායික වෛද්‍ය හා සැත්කම් සඳහා බහුලව යොදා ගනී.

එය අතුරු ආබාධ අවම හා ඉතා සාර්ථක ප්‍රතිකාර ක්‍රමයකි.

PRP යනු කුමක්‌ද?

3 -5 ගුණයක්‌ පමණ සාන්ද්‍ර කරන ලද වර්ධක සාධක සහිත රුධිර ප්ලාස්‌මාව භාවිතා කිරීම මගින්,

* හිසකෙස්‌ නැවත වැඩීම

* සමට තරුණ පෙනුමක්‌ ලබාදීම

* කල්ගත වූ තුවාල සුව කිරීම සිදු කළ හැක.

මෙය සිදු කරන්නේ කෙසේද?

ඔබේම රුධිරය කේන්ද්‍රපසාරී යන්ත්‍රයක්‌ උපයෝගී කරගෙන රුධිර පට්‌ටිකා සරු ප්ලාස්‌මාව වෙන්කර ගැනීම සිදු කෙරේ. අනතුරුව වෙන් කරගත් PRP අදාළ ස්‌ථානයට එන්නත් කරනු ලබයි. මේ සඳහා පූර්ව නිර්වින්දන ක්‍රම භාවිතා නොකරන හෙයින් ක්‍රියාවලියෙන් පසු මොහොතේ පටන්ම ඔබගේ සාමාන්‍ය කටයුතු සිදු කළ හැකිය.

මෙම ක්‍රමයේ වාසි මොනවාද?

* නවීනතම ප්‍රතිකාර ක්‍රමයකි

* අතුරු ආබාධ අවම වීම

* භාවිතයට පහසු වීම

* ඉක්‌මන් හා කාර්යක්‍ෂම ප්‍රතිඵල

කොපමණ කලකට වරක්‌ නැවත සිදු කළ යුතුද?

* හිසකෙස්‌ ගැලවී යැම සඳහා ප්‍රතිකාරයක්‌ ලෙස - සති දෙකකට වරක්‌

* සමට නැවත තරුණ පෙනුමක්‌ ලබාදීම සඳහා - මසකට වරක්‌

මෙම ක්‍රම සඳහා යෝග්‍ය නොවන පුද්ගලයන්

* අධික මත්පැන් හා දුම්පානය සිදු කරන පුද්ගලයන්

* රුධිර පට්‌ටිකා රෝග සඳහා ප්‍රතිකාර ලබන පුද්ගලයන් (රක්‌තානු මද බව, රුධිර ෆයිබ්‍රිනොජන් අඩු බව)

* සමේ ආසාදන

* පටක සම්බන්ධ රෝග (Connective tissue
disorders)

* රුධිරය කැටි ගැසීම වළක්‌වන ඖෂධ භාවිතා කරන්නන්.

* දිගුකාලීන සමේ රෝග සහිත හෝ පිළිකා රෝග ඇති පුද්ගලයන්

* නිදන්ගත රෝග සහිත පුද්ගලයන්

මෙම ප්‍රතිකාරය සමගම ඔබට ඔබගේ අනෙකුත් ඖෂධ භාවිත කළ හැක.

අතුරු ආබාධ

සාමාන්‍යයෙන් අතුරු ආබාධ නොමැත. නමුත් සමේ රතු පැහැ ගැන්වීම, ඉදිමුම, සිදුවිය හැකි අතර ඒවා තාවකාලිකය. ඉක්‌මනින් යථා තත්ත්වයට පත් වේ.

අදාළ ස්‌ථානයේ ආසාදන ඇති වීම ඉතා කලාතුරකින් සිදුවිය හැක.

ප්‍රතිඵල දැනගත හැක්‌කේ කොපමණ කලකින්ද?

නිවැරැදි ප්‍රතිකාර ක්‍රම අනුගමනය කිරීමෙන් මාස 2-4 ඇතුළත ඔබට ප්‍රතිඵල බලාගත හැක.