විමල් වරදක් කරලා නෑ - හිටපු අගවිනිසුරු කියයි

රක්ෂිත බන්ධනාගාර ගත සිටින ජාතික නිදහස් පෙරමු‍ණේ නායක, විමල් විමල් වීරවංශ මහතාගේ සුවදුක් විමසීම පිණිස දේශපාලඥයෝ, කලාකරුවෝ විද්වත් වෘත්තිකයෝ ඇතුළු බොහෝ පිරිසක් ගියහ.

ඒ අතර රාජ්‍ය අමාත්‍යවරයෙකු හා රාජ්‍ය අමාත්‍යවරියක්ද විය. ඒ ඩුලිප් විජේසේකර හා සුමේජා ජී ජයසේන මහත්මියයි. එසේම පසුගිය කාලය පුරා තම දේශපාලන හිතවතුන් සිරගත වුවද ඒ කිසිවෙකු බැලීමට නොපැමිණි එක්තරා විද්වත් වෘත්තියකුද විමල් වීරවංශ මහතාගේ සුවදුක් විමසා බැලීමට පැමිණ තිබිණි.
ඒ අන් කිසිවෙක් නොව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාය. මේ පිළිබඳ ඔහුගේ හිතවතෙකු විමසා තිබුණි.

"මම විමල් වීරවංශ මන්ත්‍රීවරයාට විරුද්ධ සිදුකර ඇති විමර්ශන වාර්තා, චෝදනා ආදිය අධ්‍යයනය කළා. මෙතැනදී විමල් කිසිම වරදක් කරලා නැහැ කියා පෙනෙනවා". හිටපු අගවිනිසුරුවරයා පිළිතුරු දී තිබුණේ එසේය.

මේ අතර විමල් වීරවංශ රක්ෂිත බන්ධනාගාරගත වූදා සිටම රැඳී සිටින්නේ සිරමැදිරිකය. පසුගිය දිනවල ඔහු පරීක්ෂකර බැලූ බන්ධනාගාර වෛද්‍යවරුන් පැවසූවේ රුධිර පීඩන මට්ටම වැඩිවී ඇති නිසා රෝහල්ගතවන ලෙසය. එම ඉල්ලීම දැඩිව ප්‍රතික්ෂේප කළ විමල් වීරවංශ මහතා රෝගී තත්ත්වය සඳහා රෝගී තත්ත්වය සඳහා වෛද්‍ය ප්‍රතිකාර පමණක් ඉල්ලා සිටියේය.

ඒ අනුව ඔහු මේ දිනවල බෙහෙත් බොමින් සිරමැදිරිය තුළම කාලය ගෙවමින් සිටී. ඉහත අසනීප තත්ත්වය හේතුවෙන් ඔහුගේ සුවදුක් විමසීමට පැමිණි ඇතැමෙකුට එම අවස්ථාව අහිමිව ගොස් තිබිණි. කෙසේ නමුත් දීර්ඝ කාලයකට පසුව තමන්ට ලැබුණු මෙම විවේක කාලය වඩාත් අර්ථවත් ලෙස ගත කිරීමේ එක් පියවරක් ලෙස විමල් වීරවංශ මහතා මේ දිනවල පොතක් ලිවීමේ කටයුත්තකද නිරතව සිටී. බටහිර බලය සහ ලංකාවේ ඉරණම, නැත්ත වෙනුවට ඇත්ත, ගරු කථානායකතුමණි, යුද්ධය නැති රට යහපාලනයෙන් දෙකඩවන හැටි හා වන්නිය ජිනීවා හා නිව්යෝර්ක්: දෙමළ ඊළාම් මාර්ග සිතියම යන කෘතිවල කතුවරයා වන විමල් මේ සිරකුටියේ සිට ලියන්නේ සිය 6 වන ග්‍රන්ථයයි.

ලංකාදීප පුවත්පත ඇසුරෙණි