ස්වර්ණවාහිනී ඉඩම ධම්මිකට

ඊඒපී සමාගම් සමූහයට අයත්ව තිබූ ස්වර්ණවාහිනී රූපවාහිනියේ මූලස්ථාන ගොඩනැඟිල්ල රුපියල් බිලියන 1.3ක මුදලකට මිලදී ගැනීම සඳහා මෙරට අංක එකේ කෝටිපති ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා සූදානම් වන බව වාර්තා වෙයි. අදාළ ගොඩනැඟිල්ල මිලදී ගැනීම සඳහා ධම්මික පෙරේරා මහතා සූදානම් වන්නේ ඔහු සතු එල්. බී. ෆිනෑන්ස් නමැති මූල්‍ය සමාගම හරහා වන බවත් ඒ වෙනුවෙන් මූලික සාකච්ඡා සිදු කර අවසන් බවත් එම වාර්තා සඳහන් කරයි.

අප වෙත වැඩිදුරටත් වාර්තා වන අන්දමට අදාළ ගොඩනැඟිල්ල මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ද රුපියල් බිලියන1.6 ක ලන්සුවක් ඉදිරිපත් කර ඇති නමුත් ඊඒපී සමාගම් සමූහයේ පාලනාධිකාරිය ඒ සඳහා එකඟතාව පළ කර නොමැත.

මේ අතර අප වෙත වාර්තා වන ආකාරයට ස්වර්ණවාහිනී රූපවාහිනී සේවය පවත්වාගෙන යන ගොඩනැඟිල්ල ඇතුළුEAP මාධ්‍ය ජාලය සහ ඊට අනුබද්ධ ව්‍යාපාර අත්කර ගැනීමක් හෝ විකිණීමක් සිදු වනවා නම් සිදු විය යුතුව තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව දැනුවත්වය. ඒ ETI ෆයිනෑන්ස් හි පසුගිය සමයේ සිදු වූ මූල්‍ය බිඳවැටීම නිසා එහි මව් සමාගම වනEPAය සම්බන්ධයෙන් මූල්‍ය කළමනාකරණයක් කිරීමට රජය වෙනුවෙන් මහ බැංකුව මැදිහත් වූ නිසාය. එහි දී පැනනැඟි මූලික ගැටලුවක් වී තිබුණේETIෆයිනෑන්ස් හි රුපියල් බිලියන07 කට අධික මුදලකට සිදු වූ දෙයක් නොමැති වීම සහ ඒ මත තැන්පත්කරුවන්ගේ රුපියල් බිලියන 37 කට අධික මුදල් අවදානමකට පත්ව තිබීමය.

එසේම මේ වන තෙක්ETI ෆයිනෑන්ස් හි අස්ථානගත වූ රුපියල් බිලියන 07කට ආසන්න මුදලට සිදු වූ දේ සම්බන්ධව කිසිදු සඳහනක් නැති බවත් ඒ පසුබිමේ අදාළ වත්කම් අතර කිසියම් හෝ ගනුදෙනුවක් සිදු වනවා නම් ඒ සම්බන්ධව මහ බැංකුව දැනුවත් විය යුතු බවත් ඒ හැර සිදු වන ගනුදෙනු නීති විරෝධී බැවින් ගැටලුසහගත තත්ත්වයක් මතු විය හැකි බව මූල්‍ය වෙළෙඳපොළ විශ්ලේෂකයන් ද පෙන්වා දෙයි.

සංජය ලියනගේ