උදයංග අරාබියට පැනලා

මූල්‍ය අපරාධ ඒකකය අධිකරණයට දන්වයි

මිග් යානා ගනුදෙනුව සම්බන්ධ සිද්ධියේ සැකකරුවකු වන හිටපු රුසියානු තානාපතිවරයකු වන උදයංග වීරතුංග නැමැත්තා යුක්රේනයෙන් පිටත්ව ගොස් ඇති බවටත් දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින බවටත් ජාත්‍යන්තර පොලිසිය හරහා සිදු කළ විමර්ශන මඟින් අනාවරණය කැර ඇති බව කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය ඊයේ (27) කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවියට දැනුම් දුන්නාය.
සැකකරු සම්බන්ධ විමර්ශන සිදු කිරීමට මේ වනවිටත් නිලධාරියෙන් අමෙරිකාව වෙත පිටත් කැර ඇති බවත් කී කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය සැකකරු අත්අඩංගුවට ගැනීමට මේ වන විට විමර්ශන දිගටම ක්‍රියාත්මක කැර ඇති බවද කීවේය.

සැකකරු අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ ජාත්‍යන්තර වරෙන්තුව ක්‍රියාත්මක කැර ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉකුත් නොවැම්බර් 25 වැනිදා කොටුව මහේස්ත්‍රාත්වරිය කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට නියෝග කළ අතර ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන වල ප්‍රගතිය එම නිලධාරින් මහේස්ත්‍රත්වරිය හමුවෙ ප්‍රකාශ කැර සිටියහ.

මෙම සිද්ධියට අදාළව තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ඇත්නම් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කැර අධිකරනයට වාර්තා කරන ලෙසටද කොළඹ පැමිණිල්ල වෙනුවෙන් කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට කරුණු ඉදිරිපත් කළහ.