ලෙස්ටර් සුමිත්‍රා යුවළට නිවාස ප්‍රශ්නයක්

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා හා සුමිත්‍රා පීරිස් මහත්මිය වසර 47ක් පුරා ජීවත් වූ කොළඹ 05, සර් ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ පිහිටි කුලී නිවෙස ඔවුන්ට නොදන්වා එහි හිමිකරුවන් විසින් වෙනත් පාර්ශ්වයකට විකිණීම සම්බන්ධයෙන් ලෙස්ටර් සුමිත්‍රා යුවළ දැඩි අපහසුතාවකට පත්ව සිටිති.

මේ බව ඔවුන් දැනගෙන ඇත්තේ නීතිඥ සමාගමක් මඟින් එම නිවෙස වෙනත් පාර්ශ්වයක් විසින් මිලදී ගෙන ඇති බවත් ඒ අනුව ඉදිරියේදී කුලී මුදල් එම හිමිකාරිත්වයට ගෙවන ලෙසත් දන්වා එවූ ලිපියක් මාර්ගයෙනි.

මේ පිළිබඳව සුමිත්‍රා පීරිස් මහත්මියගෙන් විමසූ විට ඇය පැවැසුයේ යම් පාර්ශ්වයකට එය විකිණීමට අවශ්‍ය නම් මීට වඩා මානුෂීය අයුරින් එය සිදු කළ යුතුව තිබූ බවයි.

විජයදාස රාජපක්ෂ මහතාත් ඇවිත් මේ ගැන සොයා බැලුවා. තියෙන ලියකියවිලි අනුව නම් අපිව එළියට දාන්න බෑ. මටත් දැන් මේ ගැන හිතලම වෙහෙසයි. ලෙස්ටර් මහත්තයාගෙන් මේ කාරණය වසන් කරන් හිටියට තවදුරටත් එහෙම ඉන්න බෑ. ඒ නිසා මේ ගැන මම ඔහුට කිව්වා. ඔහු ඒ සම්බන්ධව කිසිම දෙයක් කතා කළේ නෑ. කනගාටු වෙන බව මුහුණින් පෙනුණා. තව දවසක් පහු කරලා ඔහු සමඟ සාකච්ඡා කරනවා මොකද කරන්නේ කියලා. නමුත් මම හිතනවා අදාළ පුද්ගලයන් මීට වඩා මානුෂීය විදියට මේ කාරණයේදී ගනුදෙනු කරයි කියලා.