රාජපක්ෂලා එක්ක කිසිම ගනුදෙනුවක් නෑ

රාජපක්ෂවරුන් සමඟ කිසිම ගනුදෙනුවක් නොකිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇත.ජනාධිපතිවරයා සිය තීරණය එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරුන් පිරිසකට පවසා තිබේ.

රාජපක්ෂවරුන් සමඟ ගනුදෙනු කරන ඇතැම් මන්ත්‍රිවරුන් පිළිබඳව සොයා බලන ලෙසද ජනාධිපතිවරයා එම මන්ත්‍රි පිරිසට දැනුම් දී ඇත.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායමක් සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී එසේ සඳහන් කර ඇති ජනාධිපතිවරයා ජනමතය කිසි විටෙකත් වැරැදි ලෙස භාවිත නොකරන බවද අවධාරණය කර තිබේ.

මේ රජය පෙරළා දැමීමට කිසිවකුටත් නොහැකි බව සඳහන් කර ඇති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 2017 විජයග්‍රාහී වසරක් බවත් එහිදී පවසා ඇත.

ආණ්ඩුව ඇතුළේ සිටිමින් විවිධාකාරයේ විවේචන සිදු කරන මැති ඇමැතිවරුන් නිසා රජය අපහසුවට පත්වන බැවින් ඒ සම්බන්ධයෙන් විසඳුමක් ලබා දෙන ලෙස මේ මන්ත්‍රි කණ්ඩායම ජනාධිපතිවරයා හමු වී ඉල්ලීමක් කළ අවස්ථාවේ හෙතෙම මෙසේ පවසා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමැතිවරුන් මේ සතියේ කැඳවා අවශ්‍ය උපදෙස් ලබා දෙන බවද ජනාධිපතිවරයා පවසා ඇත.

හිටපු ආරක්ෂක ලේකම්වරයා පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් තමා කිසිදු මැදිහත්වීමක් නොකරන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රිවරුන් හතළිස් දෙනකු පමණ ජනාධිපතිවරයා හමුවී මෙසේ සාකච්ඡා කර ඇත. ඉදිරියේදී මසකට වරක් හෝ මෙවැනි හමුවක් සිදු කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සඳහන් කර ඇත.