විමල් යළි රිමාන්ඩ්

වාහන අවභාවිත කිරිමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා යළිත් එළැඹෙන 7 දා තෙක් දින 14කට රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සාමාන්‍යාධිකාරී සමන්ත ලොකුහැන්දිගේ මහතාද එදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.
මේ අතර නඩුව කැඳවූ අවස්ථාවේ උසාවියේ වාඩි ගෙන සිටි පුද්ගලයකු හදිසියේ නැඟිට විමල් වීරවංශට පක්ෂව කෑකෝ ගසන්නට වීම නිසා ඔහු උසාවි සිර මැදිරියට දමන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කර තිබෙනවා.

මෙම නඩුවට විමල් වීරවංශ වැරදිකරුවකු නොවන බවත්, එකල සිටි නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය ඇමැති අත්අඩංගුවට ගත යුතු බවත් එම පුද්ගලයා පවසා තිබෙනවා.