මත්පෙති සපයන “මෝරා” කොටුවෙයි

සුපිරි ගණයේ රාත්‍රී සමාජශාලා  සහ වෙරළ සඳහා (බිච් පාටි) සඳහා මිල අධික මත්පෙති සපයන ප්‍රධානතම ජාවාරම්කරු මාලිගාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් සමත්ව ඇත.

පෙරේදා (02) රාත්‍රියේ සිදු කළ විශේෂ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී සැකකරු සතුව තිබි එක්ටසි (Ectacy) නමැති මත් පෙති 30 ක් සුරාබදු භාරයට ගෙන ඇත.

සැකකරු එම ප්‍රදේශයේම පදිංචි 26 හැවිරිදි අයකු වන අතර කොළඹ – මීගමුව, ජාඇල, හික්කඩුව, ගල්කිස්ස ආදී ප්‍රදේශ සඳහා මෙම මත්පෙති බෙදා හරින බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඉතා මිල අධික මත්පෙති වර්ගයක් වන මෙම එක් පෙත්තක් රුපියල් 4000 කට අධික වටිනාකමකින් යුක්ත බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක පී. එන්. හේමන්ත මහතාගේ මෙහෙයවීමෙන් සුරාබදු පරීක්ෂක අනුර අලුත්ගේ, සුරාබදු නියාමකවරුන් වන ධනංජය පුෂ්පකුමාර, ප්‍රියන්ත පුෂ්පකුමාර, සුදත් සිරිතුංග, අරවින්ද රත්නායක හා උපාලි නෙත්තසිංහ, අරුණ චන්ද්‍රසේකර යන මහත්වරුන් සහ රියැදුරු ?? සහ චන්දන උදයප්‍රිය ප්‍රභාත් දහනායක යන මහත්වරුන් විසින් සිදු කරනු ලබයි.