මේ කාලගුණය සිරුරට අහිතකරයි

මෙම දිනවල පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය ශරීරයට ඉතා අහිතකර බැවින් ශීත කාමරවල සේවය කරන පිරිස්‌ ඉන් වැළකීමට වැඩි වශයෙන් පිරිසිදු ජලය පානය කළ යුතු බව කොළඹ ජාතික අක්‌ෂි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය මොහොමඩ් රිෆස්‌ මහතා ඊයේ (19 දා) පැවැසීය.

එසේම දැඩි අව් රශ්මිය පවතින මෙම කාලයේ එය දෑස්‌වලට අහිතකර බැවින් ගමන් බිමන් යැමේදී ප්‍රමිතියෙන් යුතු අව් කණ්‌නාඩියක්‌ පැළඳගෙන ගමන් කරන ලෙස ද ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙම කාලයේ පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් මිනිසාගේ දෑසට සහ ශරීරයට වන බලපෑම කුමක්‌දැයි යන්න සම්බන්ධයෙන් විමසූ අවස්‌ථාවේ ඒ මහතා මෙසේද කීය.

"පවතින වියළි කාලගුණයත් සමඟ මිනිසුන්ගේ ශරීරය වේළෙනවා. මේ නිසා පුළුවන් තරම් වතුර බොන්න. අඩුම තරමින් පැය භාගයකට සැරයක්‌වත් වතුර බොනවා නම් හොඳයි. ඒ. සී. කාමරවල ඉඳගෙන රැකියා කරන අය වැඩි වැඩියෙන් වතුර බොන්න ඕනෑ. නැත්නම් ඔවුන් විවිධ රෝගාබාධවලට ලක්‌වීමේ අවදානමක්‌ තියෙනවා.

ඒ වගේම මේ දිනවල නිතරම පිරිසිදු වතුරෙන් මුහුණ සෝදන්න. හැබැයි ඒ සඳහා සබන් භාවිතා කරන්න එපා.

අනිත් කරුණ නම් ගමනක්‌ බිමනක්‌ යනකොට ප්‍රමිතියෙන් යුතු අව් කණ්‌ණාඩියක්‌ භාවිත කළ යුතුයි. ඒ වගේම අනවශ්‍ය වෙලාවට ඒ කියන්නේ දහවල් කාලයේ බීච් යන්න එපා. හේතුව මේ කාලයේ වැටෙන අව්ව ඒ තරම් හොඳ නැති නිසා. විශේෂයෙන්ම මේ හිරු එළියෙන් දෑස්‌වලට හානි විය හැකියි. අවශ්‍යම ගමනක්‌ හැරෙන්නට නිකරුනේ මේ කාලයේ අව්වේ ගමන් බිමන් යන්න එපා."