මරුටි පවුලේ අලුත්ම මෝටර් රථය

ඉන්දියාවේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන මරුටි සුසුකි ඉන්දියා සමාගම සිය නවතම මෝටර් රථ මාදිලිය පසුගිය සිකුරාදා එළිදක්වනු ලැබීය. මරුටි සුසුකි Ignis ලෙසින් නම් තබා ඇති මරුටි පවුලේ නවතම සාමාජිකයා වන මෙහි මිල ඉන්දියානු රුපියල් ලක්ෂ 4.59 සිට ලක්ෂ 7.8 දක්වා වන බව වාර්තා වේ.

කුඩා ප්‍රමාණයේ SUV (Mini-sports utility vehicle) මෝටර් රථ මාදිලියක් වන මෙය ඉන්දියාව තුළ සීඝ්‍ර ජනප්‍රියත්වයක් වාර්තා කරන ලද රෙනෝල්ට් Kwid මාදිලිය සඳහා ප්‍රබල අභියෝගයක් එල්ල කරනු ඇති බව විශ්ලේෂකයින්ගේ අදහසයි.

පෙට්‍රල් සහ ඩීසල් යන ඉන්ධන මාදිලි දෙකෙන්ම එළිදකින මෙය මැනුවල් සහ ස්වයංක්‍රීය යන ගියර් පද්ධති මාදිලි දෙකෙන්ම තෝරා ගත හැකිය. ලීටර 1.2 පෙට්‍රල් එංජිමකින් බලසම්පන්න මාදිලිය ඉන්දියානු රුපියල් ලක්ෂ 4.59 සිට ලක්ෂ 6.69 දක්වා වේ. එසේම ලීටර 1.3 ඩීසල් එංජින් මාදිලියේ මිල ගණන් ඉන්දියානු රුපියල් ලක්ෂ 6.39-7.8 දක්වා මිල ගණන්වලින් ලබා ගත හැකිය.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ මරුටි සුසුකි කළමනාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී ජකනිචි අයුකාවා (දකුණේ) සහ විධායක අධ්‍යක්ෂ (අලෙවි හා විකුණුම්) ආර්.එස්. කල්සි මරුටි සුසුකි Ignis එළිදැක්වීමේ උත්සව අවස්ථාවට එක් වූ අවස්ථාවයි.