මතභේදකාරී ෆේස්බුක් පිටුවක් අත්හිටුවයි

මතභේදකාරී ලෙස කුඩා ගැහැණු ළමයින්ගේ ඡායාරූප යොදා සකස් කළ මුහූණු පොත් පිටුවක් අත්හිටුවීමට පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය (සර්ට්) පියවරගෙන ඇත.

එම මුහුණුපොත සම්බන්ධයෙන් පැමිණිලි රාශියක් ලැබුණු බවත් එම පිටුව නිර්මාණය කළ අය නරඹන්නන් ප්‍රමාණය වැඩි කරගැනීම සඳහා ලිංගික ආකර්ශනය ඇතිවන ආකාරයට කුඩා ගැහැණු දරුවන්ගේ ඡායාරූප යොදා ඇති බවට තොරතුරු ලැබුණු බවත් පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය පවසයි.

ෆේස්බුක් සාමාජිකයන්ට කැමැති පරිදි ඡායාරූප ඇතුළු කිරීමට හැකිවීම හා එවැනි පිටු සකස්කර පවත්වාගෙන යාමට ලබාදී ඇති නිදහස හේතුවෙන් මෙවන් ගැටලු ඇතිවන බවත් එම ආයතනය පෙන්වා දෙයි. තම ඡායාරූප තමාගේ මිතුරන්ට පමණක් නැරඹීමට හැකිවන පරිදි ෆේස්බුක් හි තිබෙන ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමෙන් මෙවැනි දේ වළක්වාගත හැකි බවද එම ආයතනය සඳහන් කරයි.