ඔස්ට්‍රේලියානු යුවළට මහාධිකරණ‍යෙන් සිතාසි

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් භාවිත කර සමාගමක ව්‍යාපාර කොටස් විකිණීමෙන් රුපියල් මිලියන 20ක් සම්බන්ධව විශ්වාසය කඩකළ බවට පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්කිකරුවන් වූ අදාළ සමාගම හිමි ඕස්ට්‍රේලියානු ජාතික යුවළට මෙම මස 30 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා ඊයේ (05) නියෝග කළේය.

අදාළ සිතාසි අධිකරණ අමාත්‍යාංශය හරහා ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාලය මගින් නිකුත් කිරීමට ද විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේය.

නඩුව ඊයේ (05) කැඳවූ අවස්ථාවේ ඇප මත සිටින විත්තිකාර උදය ගම්මන්පිල මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥවරිය පවසා සිටියේ නඩුවේ පළමු හා දෙවන සාක්කිකාර විදේශීය යුවළට නඩු කටයුතු සඳහා පෙනී සිටීමට දන්වා සිතාසි නිකුත් කරන ලෙසටය.

ඩිජිටල් නොමිනිස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ බ්‍රයන් රෝස් හැසින් හා ජැනට් එලිසබත් හැසින් අත්සන් නොකළ ව්‍යාජ ලේඛනයක් බවට හා ඒ බවට විශ්වාස කිරීමට හේතු තිබියදී ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සැබෑ ලේඛනයක් ලෙස ඉදිරිපත් කළ බවට නීතිපතිවරයා උදය ගම්මන්පිල මහතාට එරෙහිව අධි චෝදනා නගා ඇත.

වසර 2000 ජූලි මස 27 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී අදාළ කොටස් ධම්මික පෙරේරා නමැත්තෙකුට විකිණීමෙන් රුපියල් මිලියන 20ක මුදල වංචා කිරීම ඇතුළු අධි චෝදනා දෙකක් යටතේ විත්තිකාර උදය ගම්මන්පිල මහතාට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 386 හා 456 වගන්ති යටතේ පවරා ඇති මෙම නඩුව ඔප්පු කිරීමට ලේඛන 14ක් හා සාක්කිකරුවන් 20ක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද නීතිපතිවරයා අධිකරණයට දන්වා ඇත.