ඥානසාර හිමිට නඩු

දක්ෂිණ අධිවේගී මාර්ගයට බලහත්කාරයෙන් ඇතුළුව එහි ආරක්ෂක පොලිස් නිලධාරීන්ට බැන තර්ජනය කර ආරක්ෂක වැටකට පහරදී රුපියල් 60,000කට අධික රජයේ දේපළවලට අලාභහානි කළැයි බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු තවත් භික්ෂුන් දෙනමකට එරෙහිව ඊයේ (23දා) හෝමාගම පොලිසිය විසින් හෝමාගම අධිකරණයේ නඩු පවරනු ලැබීය.

විතාරන්දෙණියේ නන්ද, ගලගොඩඅත්තේ ඥානසාර හා ඇඹිලිපිටියේ විජිත යන සැකකාර හිමිවරුන්ට එරෙහිව හෝමාගම මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු උදේෂ් රණතුංග මහතා ඉදිරියේ ඊයේ නඩු පවරන ලද අතර තෙවැනි සැකකාර ඇඹිලිපිටියේ විජිත හිමි නඩු වාර කිහිපයකදී අධිකරණය මඟහැරීම නිසා එම හිමි අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක් විනිසුරුවරයා ඊයේ නිකුත් කළේය.

ඉකුත් 2012 ජුනි 9 වැනි දින පින්නදුව පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළුව එහි බලහත්කාරයෙන් ගමන් කිරීමට සූදානම් වූ අවස්ථාවේ එය වැළැක්වීමේදී ආරක්ෂක පොලිස් නිලධාරීන්ට තර්ජනය කර ආරක්ෂක වැටකට පහරදී අලාභ කිරීමෙන් පසුව එම මාර්ගය ඔස්සේ පැන යද්දී හෝමාගම පොලිසිය විසින් මාකුඹුර පිවිසුමේදී සැකකාර හිමිවරු අත්අඩංගුවට ගෙන තිබිණි.

ඒ පිළිබඳව සැකකාර හිමිවරුන්ට ඊයේ නඩු පැවැරූ අවස්ථාවේ එම සිද්ධියට නිවැරැදිකරුවන් බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී මංජුල මාකුඹුර මහතා පැවැසීය.
අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 192 යටතේ තෙවැනි සැකකාර හිමි නොමැතිව සාක්කි විභාගයට ගැනීමට විනිසුරු උදේෂ් රණතුංග මහතා නියම කෙළේය.