සෙම් රෝග නසන කහට මල් පානය


ඒකාකාරී ආහාර රටාවකට පුරුදු වූ මේ රටේ ජනතාවට ඉන් මිදීමට මග කියන බොහෝ දැනුම මෙම ලිපි මාලාව ඔස්සේ අපි වරින්වර ගෙන ආවෙමු. ඊට හේතුව වත්මනෙහි අපට ආහාර වශයෙන් පරිභෝජනය කිරීමට ඇති දෑ බොහෝ විට ශරීරයට අහිතකර විෂ රසායනිකයක් අන්තර්ගත ඒවා වීමය. නමුත් අප පරිසරයේ හමුවන ස්වභාවික ආහාර කොතෙකුත් ඇද්දැයි සොයා බැලූ විට අපි සීමිත ආහාර වර්ග කිහිපයක් පසුපස හඹා ගියේ ඇයි දැයි අපටම අදහාගත නොහැකිය. අප අවට පරිසරයේ අපට හමුවන ආහාර වර්ග අපෙන් ඈත් වන කල ඒවා පිළිබඳව ඇති පාරම්පරික දැනුමද කමෛන් වියැකී යනු ඇත. ඊට අමතරව එම ශාකමය ආහාර ගැන නොදැනුවත්කම හේතුවෙන් ඒවා පරිසරයෙන් තුරන් වීමේ අවදානමක් ඇත. මේ සියලු කාරණා කැටි කරමින් අප අවට ඇති ආහාරයට මෙන්ම ඖෂධීය ගුණයෙන් යුක්ත ආහාර හඳුනාගෙන ඒවා භාවිතයට හෝ පරිභෝජනයට ගැනීමෙන් අප හට සෞඛ්‍යමය ප්‍රතිලාභ, ආර්ථික ප්‍රතිලාභ, ඇතුළු බොහෝ වාසි රැසක් ඇති කර ගත හැකි වේ.

ලංකාවේ වියළි කලාපයේ හා නැතිතලා ප්‍රදේශවලද පහත් බිම් ආශ්‍රිතවද හොඳින් වැවෙන ශාකයක් වන කහටගහ අපි කවුරුත් හොඳින් හඳුනමු. ඉතාම දැඩි නියඟයට පවා ඔරොත් දීමේ හැකියාවක් මෙම ශාකයට ඇත. උද්භිද විද්‍යාත්මකව Careya arborea roxb නමින් හැඳින්වෙන කහටගහ ඉතා විශාලව වැඩෙන ශාකයකි. සිංහල අවුරුද්දට පෙර මල් පිපී ගෙඩි හැදෙන කහට ගෙඩි ආහාරයක් වශයෙන්ද ගත හැකි වේ. අපගේ මුතුන් මිත්තන් කහටගහේ කොළ, ‍පොතු, ගෙඩි මෙන්ම අරටුවද ආහාර, ඖෂධ මෙන්ම එදිනෙදා ගෘහ කටයුතුවලටද භාවිත කළෝය.

වර්තමාන සමාජයේ බොහෝ කාන්තාවන්ට ඇති වන රෝගද බහුලය. එයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ පරිභෝජනයට ගන්නා වූ විෂම ආහාර, අඳින ඇඳුම් පැලඳුම් මෙන්ම කරන්නා වූ වෘත්තියන්ද වේ. ඇතැම් කාන්තාවන් විවිධ හේතූන් මත නිසි ප්‍රතිකාර නොගෙන ඔවුන්ගේ රෝගී තත්ත්වයන් සඟවාගෙන සිටින අවස්ථාවන්ද බොහෝය. මේ හේතුව නිසාම පසු කාලීනව විවිධ වෙනත් රෝගාබාධ මෙන්ම ශරීරයේ දුර්වලවීම, කෘශවීම, රක්තහීනතාවය ඇතිවීමට ඉඩ තිබේ.

එදා දේශීය වෙදකමේදී එවැනි රෝග සඳහා මෙවැනි ශාකවලින් විවිධ අත්බෙහෙත් සකස් කර ගැනුණි. විශේෂයෙන් කාන්තාවන්ට වැලඳෙන ස්වේත ප්‍රදර, රක්ත ප්‍රදර වැනි රෝග තත්ත්වයන්ට කහට‍පොතු වියළා කුඩු කර එම කුඩුවලට මී පැණි එළඟිතෙල් මිශ්‍ර කර උදේ සවස කෑමට දීමෙන් එම රෝග තත්ත්වය වළක්වා ගැනීමට පැරැන්නෝ සමත් වූහ.

ශ්‍රී ලංකාව වින්නඹු චිකිත්සාවක් වෙනම තිබූ රටකි. එදා අද මෙන් දරුවන් ප්‍රසූත කිරීම සඳහා රෝහල් නොවීය. දරු ප්‍රසූතියට සහායට පැමිණියේ වින්නඹු මාතාවය. එම වින්නඹු මාතාවට ඒ පිළිබඳ පුළුල් අවබෝධයක් තිබිණි. ගැබිනි මවගේ සිට නව ජාත දරුවාගේ සංරක්ෂණය මෙන්ම මවගේ සංරක්ෂණය කිරීම සඳහා කළ යුතු වත් පිළිවෙත් පිළිබඳ හසළ දැනීමක් වින්නඹුව සතු විය. කනගාටුවට කරුණ නම් වර්තමානය වනවිට එම දැනුම අප අතරින් වියැකී ගොස් තිබිමයි.

අතීතයේදී දරු ප්‍රසූතියෙන් පසු කහටගසේ කොළ ‍පොතු දමා තම්බාගත් වතුරෙන් එම මව්වරුන් නෑවීමේ සිරිතක්ද පැරැන්නන් අතර තිබුණි. එමගින් එම මවගේ යෝනි ප්‍රදේශයේ සිදුවන පැසවීම මෙන්ම ඒ ආශ්‍රිත වෙනත් සංකුලතා මගහරවා ගැනීමට හැකි විය. මෙම ප්‍රතිකාරය නිසාම ඉහිල්ව තිබූ යෝනි ප්‍රදේශය ඉක්මනින්ම යළි යථා තත්ත්වයට පත් වේ.

මෙහි තවත් විශේෂයත්වයක් වන්නේ රුධිරය ගැලීම නතර කරවීමේ හැකියාවයි. හදිසි අනතුරකදී ඇති වන තුවාලයකින් ගලායන රුධිරය නැවැත්වීම කහට දලු කොටා තුවාලය මත තැබිම ප්‍රත්‍යක්ෂ ඖෂධයකි.

වර්තමානයේ දියවැඩියා තත්ත්වයන් නිසා පාදවල හට ගැනෙන තුවාල ඔඩු දිවීමෙන් පාද අහිමි වන අවස්ථා බොහොමයක් ඇත. එහිදී කහට ‍පොතු දලු තැම්බූ වතුරින් සේදීමෙන් එම තත්ත්වය වළක්වා ගත හැකි වේ. තවද පාරම්පරික චිකිත්සාවේදී මෙම ඔඩු දුවන රෝග සඳහා කහට ‍පොතු ආශ්‍රයෙන් විවිධ තෙල් වර්ග මෙන්ම ඖෂධ වර්ගද සකසා ගනු ලැබේ. එබැවින් මෙය ඖෂධීය ගුණයෙන් ඉතාමත් අධික ශාකයකි.

මේ කහට මල් පිපෙන කාලයයි. කහට ගසේ මල්ද ඉතාමත් ඖෂධීය ගුණයෙන් යුක්තය. විශේෂයෙන් සුව නොවන කැස්ස ඇති වීම කහට මල් ‍පොතු කොටා එයට ‍පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා මී පැණි සමග බිමට ගැමියෝ පුරුදුව සිටියහ. ඒත් මේ පිළිබඳව අවබෝධයක් ඇති දේශීය වෛද්‍යවරයකුගේ අනුදැනුම මත මෙවැනි චිකිත්සාවක් කරගත යුතු වේ. ‍ලේ දූෂිත වීමෙන් මෙන්ම විවිධ වෛරස් රෝග නිසා හට ගන්නා සමේ බිබිලි ඇතිවීමට, ඒ සමග හට ගන්නා උණටද කහට ‍පොතු තම්බා බිමෙන් සමනය වේ. තවද ශරීරය දුර්වල අයට, වැටීම් තැළීම් ආදිය හේතුවෙන් හෙම්බත් වූ අයටද දරුවන් වැදූ අයටද කහට මල් තම්බා සීනි දමා පානය කිරීමෙන් යම් සහනයක් ලැබේ.

කහට ගසේ ගෙඩියද ව්‍යංජනයක් ලෙස සකසා ගැනීමට පුළුවන. විශේෂයෙන් මේ සඳහා යොදා ගැනෙනුයේ ළපටි කහට ගෙඩිය. එම ළපටි කහට ගෙඩි උණු අළුපල්‍ලේ තම්බා අඹරා හෝ ‍පොඩි කර මැල්ලුම් මෙන්ම ව්‍යංජනද සකසා ගැනීමට හැකිය. මෙසේ මෙම ගෙඩි ආහාරයට ගැනීමෙන් ආමාශගත රෝග, රක්ත අර්ශස් වැනි රෝගද සමනය වේ. තවද අම්ල පිත්තය වැනි රෝග නිසා ආමාශයේ හට ගන්නා තුවාල සුවපත් කිරීමට මහඟු ඖෂධයක් ද වේ. විශේෂයෙන් දියවැඩියා හෙවත් මධුමේහ රෝගීන්ගේ ආහාර වට්ටෝරුවට අලුතින් එකතු කරගත හැකි ආහාරයකි. ශරීරයට ශක්තිය ලබා දෙන අතර සම පැහැපත් කිරීමට මෙම කහට ගෙඩිවලට හැකියාව ඇත.

සමාජයේ බෝවන රෝග මෙන්ම බෝ නොවන රෝගද බහුලය. විශේෂයෙන් රුධිරය ආශ්‍රිතව පැන නැගෙන්නා වූ රෝගවලදී කහට ගස ඉතාමත් ප්‍රයෝජනවත් වේ. විශේෂයෙන් එයින් කරන්නා වූ ඖෂධ එම රෝග තත්ත්වයන් මගහරිනවා ඇත. කහට ‍පොතු තැම්බූ වතුරින් ඇඟ සේදීමෙන් සමෙහි රළු ගතිය නැති කර ගත හැකි වේ. මෙය නිරන්තරයෙන් චර්ම රෝගවලට ගොදුරු වන අය සඳහාද මහඟු ප්‍රතිකාරයක්ද වේ. තවද දත්මුල් දියවන රෝගීන්ට කහට ‍පොතු තම්බා මුඛය සේදීමෙන් එම තත්ත්වය මගහරවා ගත හැකි වේ. තවද දියැඩියා, පිළිකා,හෘද රෝග වැනි රෝගවලින් ආරක්ෂා වීමට මහඟු ආහාරයක්ද වේ.

කහට ගෙඩි කොතරම් ඖෂධීය ගුණ යුක්ත වුවත් වකුගඩු රෝග, මූත්‍රා දැවිල්ල වැනි රෝග තත්ත්වයන් ඇති අයට එතරම් යහපත් නොවේ. එවැනි අය වෛද්‍ය උපදෙස් අනුව මෙවැනි ඖෂධීය පිළියම් කර ගන්නේ නම් ඉතා අගනේය.


වියළි කලාපීය ශාකයක් වන කහට ලීය ඉතාමත් ශක්තිමත් මෙන්ම දැව සඳහාද භාවිත කළ හැකි ශාකයක්ද වේ. අතීතයේදී ස්වභාවික වර්ණ නිෂ්පාදනයට කහට ‍පොතු උපයෝගීකර ගනු ලැබිය. කහට ‍පොතුවලින් විවිධ ද්‍රව්‍ය විවීම් සඳහා කෙඳි ලබා ගැනීමද කළ හැකි වේ.

කහට ගැන සඳහන් කළ යුතු තවත් විශේෂත්වයක් වනුයේ එහි ඇති විෂබිජ නාශක ගුණයයි. එබැවින් කහට විෂබිජ හරණය සඳහා යොදා ගත හැකි ස්වභාවික ඖෂධයක්ද වේ.

අප අවට ඇති මෙවැනි ස්වභාවික ඖෂධීය ශාක හඳුනා ගැනීමෙන් විශේෂයෙන් ඒවා මතු පරපුර උදෙසා ආරක්ෂා කර ගැනීමෙන් එම ශාක හා සබැඳි පාරම්පරික දැනුම ද සුරක්ෂිත වනු ඇත. මෙම දැනුම අභාවයට යා නොදී ආරක්ෂා කර ගැනීමෙන් ඒවා භාවිතයට ගැනීමට හුරු කිරීමෙන් විවිධ රෝග සඳහා යොදා ගන්නා ඖෂධවලට විදේශවලට යන මුදල් ඉතිරි කරගත හැකි වේ.

දේශීය වෛද්‍ය පාලිත ශ්‍රී ගීගනආරච්චිගේ කථිකාචාර්ය / මා‍ලේවන ශ්‍රී ඥානිස්සර ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය