විමල්ගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්‌

බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට පැමිණෙද්දී තම ආරක්‌ෂාවට නිසි වේලාවට පොලිස්‌ නිලධාරීන් ලබා නොදීම නිසා නියමිත වේලාවට පාර්ලිමේන්තු රැස්‌වීමට පැමිණීමට නොහැකි වූ බව පවසමින් රිමාන්ඩ් භාරයේ සිට සභා ගැබට ආ විමල් වීරවංශ මහතා කථානායක කරු ජයසූරිය මහතා හමුවේ ඊයේ (26 දා) වරප්‍රසාද ප්‍රශ්නයක්‌ මතු කළේය.

පාර්ලිමේන්තු රැස්‌වීම ආරම්භ වීමට පෙර තමන්ට සභාවට පැමිණීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙස පොලිස්‌ දෙපාර්තමේන්තුවට නියෝගයක්‌ කරන ලෙසද මන්ත්‍රීවරයා කථානායකවරයාගෙන් ඉල්ලීමක්‌ කළේය.

වරප්‍රසාද ප්‍රශ්නයක්‌ මතු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී (එජනිස) විමල් වීරවංශ මහතා මෙසේද කීවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌ රිමාන්ඩ් බන්ධනාගාරගත කළ පසු ඔහු පාර්ලිමේන්තුවට රැගෙන ඒමේදී සහ යළි බන්ධනාගාරයට ගෙන යාමේදී බන්ධනාගාර නිලධාරීන් විසින් පොලිස්‌ ආරක්‌ෂාව බලාපොරොත්තු වෙනවා. බන්ධනාගාරය ඒ සඳහා ඉල්ලීම් කරන්නේ බම්බලපිටිය පොලිස්‌ ක්‍ෂේත්‍ර බළකා මූලස්‌ථානයෙන්. ඊයේත්, පෙරේදාත් දවස්‌ දෙකේම පොලිස්‌ නිලධාරීන් දෙදෙනා පැමිණියේ ප්‍රමාද වෙලා. ඒ නිසා ඒ දින දෙකේදීම මට මේ සභාවට රැස්‌වීම ආරම්භ කරන මොහොතේ පැමිණීමට හැකි වුණේ නෑ. ඊයේ සවස 2.00 ට පමණ ක්‍ෂේත්‍ර බළකා මූලස්‌ථානය බන්ධනාගාරයට දන්වා තිබුණා ඔවුන්ට පොලිස්‌ ආරක්‌ෂාව සඳහා නිලධාරීන් එවිය නොහැකි බවට. ඉන්පසුව යළි පොලිස්‌ නිලධාරීන් දෙදෙනෙක්‌ එවන්න පොරොන්දු වී තිබුණා. ඒත් අද උදැසන ඒ නිලධාරීන් පැමිණ තිබුණේ නෑ. ඒ අනුව අද පෙරවරු 9.35 ට පමණ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට ක්‍ෂේත්‍ර බළකා මූලස්‌ථානයේ සැරයන් වීරසිංහ නමැත්තෙක්‌ දැනුම් දී තිබුණා එවීමට තරම් ප්‍රමාණවත් නිලධාරීන් නෑ කියලා. ඒ නිසා බන්ධනාගාරයට සිදු වුණා බන්ධනාගාර පොලිසියේ නිලධාරීන් දෙදෙනෙක්‌ සමඟ මා පාර්ලිමේන්තුවට එවන්න.

මේ සභාව ආරම්භ වීමට මොහොතකට පෙර සභාවට ඇවිත් මෙහි සංවාදවලට සහභාගි වීමේ අයිතිය මට තියෙනවා. නමුත් මට ඒ අවස්‌ථාව මඟ හැරුණු නිසා ඔවුන්ගෙන් ඉල්ලීමක්‌ කළා හෙට පෙරවරුවේ මේ දේ වෙන්න දෙන්න එපා කියලා. ඒත් අද මේ තත්ත්වය ඇති වුණා. මගේ වරප්‍රසාද රැක දෙන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.

කථානායක- මම මේ ගැන බන්ධනාගාර නිලධාරීන් සහ පොලිසිය සමඟ සාකච්ඡා කර ඔබතුමාගේ අයිතිවාසිකම් රැක දීමට කටයුතු කරන්නම්.