පාසල් දැරියකට අතවර

වයස අවුරුදු 14යි මාස 8ක් වූ පාසල් සිසුවියකට අතවර කිරීමට ආධාර අනුබල දුන් බව කියන මවක් ඇප මත මුදාහැරීමට නියෝග කළ මීගමුව අතිරේක මහේස්ත්‍රාත් කපිල දුෂ්‍යන්ත එපිටවල මහතා සිසුවියට හදි කරන ලදැයි කියන ඇගේ මවගේ අනියම් පුරුෂයා ජනවාරි මස 27 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළේය. අංක 696, එම්. ද සිල්වා මාවත, කටුනායක යන ලිපිනයෙහි පදිංචි කාන්තාවක් රුපියල් 5000ක මුදල් සහ රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ජනවාරි මස 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයේ තැබීමට නියෝග කරන ලද්දේ සෝමරත්න සිල්වා පාරේ, ශ්‍රී මාවත ගනේමුල්ල ලිපි‍නයෙහි පදිංචි පුද්ගලයෙකි.

පාසල් සිසුවිය මීගමුව, මුක්තක්කරේ “නිසල දිය සෙවණ” නිවාසයේ රඳවා තබන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග ක‍ෙළ්ය.

සීදූව පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ “බී” වාර්තාව අනුව මෙම බාලවයස්කාර දැරිය පාසල් ශිෂ්‍යාවකි. මෙම දැරියගේ පියා බිරියගෙන් වෙන්වී කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධතා පවත්වාගෙන යමින් ඇය සමගින් ජීවත්ව සිටී.

සැකකරු සීදූව, දළුමුල්ල ප්‍රදේශයේ නේවාසිකාගාරයක පදිංචිව සිටියේ දැරියගේ මව සමඟයි. සැකකාරිය රැකියාවට ගියවිට පාසල් සිසුවිය සිට ඇත්තේ සැකකාරියගේ අනියම් පුරුෂයා සමඟයි. මෙහිදී ඔහු සිසුවියට හදිකර තිබෙන බැව් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පාසල් ශිෂ්‍යාව වෛද්‍ය පරීක්ෂණයකට ද භාජනය කර තිබේ. සීදූව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බී. එම්. එල්. වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවන ලද්දේ පොලිස් කොස්තාපල් එස්. එච්. රොෂාන් (86069), පොලිස් කොස්තාපල් එච්. ඒ. බී. නිරෝෂන (68410) යන මහත්වරුන් විසිනි.

සීදූව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ කාන්තා පොලිස් පරීක්ෂක දීපාල් (4631) මහත්මිය විමර්ශනවලට සහාය විය.