ශාක්‍ය ජනපදයට පිළියන්දලින් අක්කර 75ක්

බුද්ධගයාව, සුද්ධෝදන රජ මාලිගාව ඇතුළු දඹදිව බෞද්ධ සිද්ධස්ථාන සියල්ල එකම ස්ථානයක ප්‍රති නිර්මාණය කර ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාවට වැඳපුදා ගැනීම සඳහා ශාක්‍ය ජනපදයක් නිර්මාණය කෙරේ.

මෙවර අන්තර්ජාතික වෙසක් උත්සවය ශ්‍රී ලංකාවේ පැවැත්වීම නිමිත්තෙන් ඊට සමගාමීව ශාක්‍ය ජනපදය නිර්මාණය කරනු ලබයි.

මේ සඳහා පිළියන්දල, කහපොළ ප්‍රදේශයේ ඉඩම් අක්කර 75ක් වෙන්කර ඇත.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී කතානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය හමුවකදී බුද්ධ ශාසන හා අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් මේ තොරතුරු අනාවරණය කරනු ලැබීය.

අන්තර්ජාතික වෙසක් උත්සවය සඳහා රටවල් දහසයකට ආරාධනා කර ඇති බවත් ප්‍රධාන ආරාධිතයා වශයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි වෙත ආරාධනා කර ඇති බවත් ඇමැති විජයදාස රාජපක්ෂ පැවැසීය.

මේ අතර සියයකට වැඩි රටවලින් නියෝජිත පිරිස් සහභාගි වීමට නියමිත බවත් හෙතෙම සඳහන් කෙළේය.

පුරා තෙදිනක් පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාරම්භක උත්සවය රාජ්‍ය නායකයන්ගේ සහභාගිත්වයෙන් මැයි මස 12 වැනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

එහිදී ශාස්ත්‍රීය සම්මන්ත්‍රණ කිහිපයක් පැවැත්වීමට නියමිතය.

දියවන්නා වෙසක් කලාපය දර්ශනීයව පැවැත්වෙන අතර දෙවැනි දින සම්මන්ත්‍රණය නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වේ. එදින සවස එහිදී සංස්කෘතික සන්දර්ශනයක් පැවැත්වීමට නියමිතව ඇත.

අන්තර්ජාතික වෙසක් උළෙලට සහභාගි වීමට පැමිණෙන විදේශික රාජ්‍ය නායකයන් ඇතුළු නියෝජිතයන් තුන්වැනි දින විශේෂ දුම්රියකින් මහනුවර බලා කැඳවා ගෙන යනු ලබයි. එදින සවස එම පිරිස වෙනුවෙන් සීමිත දළදා ප්‍රදර්ශනයක් පැවැත්වෙන බවත් ශ්‍රී දළදා මාලිගාවේ මහමළුවේදී පවත්වනු ලබන සමාප්ති උළෙලේදී වෙසක් පොහොය දිනය අන්තර්ජාතික නිවාඩු දිනයක් බවට පත් කිරීමේ යෝජනාවක් සම්මත කර එක්සත් ජාතීන්ගේ සම්මේලනය වෙත ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවත් ඇමැති විජයදාස රාජපක්ෂ සඳහන් කෙළේය.

එදින සවසට අන්තර්ජාතික වෙසක් උළෙල නිමිත්තෙන් විශේෂ දළදා පෙරහරක් පැවැත්වීම සඳහා දියවඩන නිලමේ තුමා සමඟ සාකච්ඡා කර කටයුතු සම්පාදනය කරන බවද ඇමැතිවරයා පැවැසීය.