රු. 20ට ලොතරැයි පත් අද සිට වෙළෙඳපොළට

නාධිපතිවරයාගේ නියෝග පරිදි ජාතික ලොතරැයි මණ්‌ඩලයේ ලොතරැයිපත් ඊයේ (27දා) සිට රු. 20 මිලට වෙළෙඳ පොළට නිකුත් කිරීම ආරම්භ විය.

ඒ සම්බන්ධව ජාතික ලොතරැයි මණ්‌ඩලය නිකුත් කළ නිවේදනය මෙසේය.

2017 ජනවාරි 01 දින සිට රු. 30/ ට අලෙවි කරන ලද ලොතරැයි පතක මිල ජනාධිපතිවරයාගේ තීරණය මත නැවත රු. 20/} ලෙස මිල නියම කරන ලදී. ඒ අනුව 2017 පෙබරවාරි 01 දින සිට දිනුම් අදිනු ලබන ලොතරැයි පත් වෙළෙඳපොළට බෙදාහැරීමට අලෙවි නියෝජිතයන් වෙත නිකුත් කරමින් පවතී. මිල අඩු කිරීම පිළිබඳ තීරණය ගන්නා විට රු. 30/ට මුද්‍රණය කරන ලද ටිකට්‌ පත් මිලියන 15 ක්‌ පමණ දිවයින පුරා බෙදාහැර තිබිණි.

නව මිල ගණන්වලට ලොතරැයි පත් මුද්‍රණය කිරීම සඳහා අවම වශයෙන් දින 07-10 ත් අතර කාලයක්‌ ගත වන අතර ඒ වන විට වෙළෙඳපොළට නිකුත් කරන ලද පාරිභෝගිකයන් විසින් රු. 30 ට මිලදී ගත් ලොතරැයි පත් නැවත කැඳවීම සිදුකළ නොහැකි වන අතර එකම ලොතරැයි පත් වර්ගය මිල ගණන් දෙකකට විකිණීමටද නීතිමය බාධාවක්‌ තිබේ.

තවද මෙම තීරණය පිළිබඳ ලොතරැයි අලෙවි නියෝජිතයන් සමඟද සාකච්ඡා කොට එකඟතාවකට පැමිණ ඇත.

රු. 20 ක්‌ වටිනාකමින් යුත් ලොතරැයි පත් ඊයේ (27 වැනිදා) සිට වෙළෙඳ පොළට නිකුත් කෙරෙමින් පවතී. එහි පළමු දිනුම් ඇදීම පෙබරවාරි 01 දින සිට සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කොට ඇත.