පෙරගෙවුම් කාඩ්පතින් 20%කින් බස් ගාස්තු අඩු වෙයි

ශ්‍රී ලංකාව තිරසර යුගයක් කරා රැගෙන යන වත්මන් රජයේ ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ වැඩසටහනක් වූ සහසර ව්‍යාපෘතියේ ක්‍රියාකාරි අදියර ලබන 16 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී ඇරැඹේ.

මේ සඳහා භාවිත කරන සහසර පෙරගෙවුම් කාඩ්පත මිලදී ගැනීමේදී ලැබෙන සියයට 20ක වට්ටම නිසා මගීන්ට සියයට 20ක බස් ගාස්තු අඩුවීමේ වාසියක් අත්වනවා පමණක් නොව මන්දගාමීව හෝ තරගකාරීව අධිවේගයෙන් ධාවනය වීම වැළකෙන බව සෙමා ආයතනයේදී ඊයේ (11දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා පෙන්වා දුන්නේය.

නියමු වැඩසටහනක් ලෙස සහසර වැඩසටහන මහනුවර දෙනුවර කලාපයේ හා දුම්බර කලාපයේ මාර්ග 47ක මාස 3ක කාලයක් ක්‍රියාත්මක කළ අතර එහිදී දෛනික මඟින්ගේ සංඛ්‍යාව ලක්‍ෂයක් විය. දෛනික ආදායම මිලියන 02කි. මේ වන විට එයින් මාර්ග 40ක 100%ක් සහසර ක්‍රමයට අනුගතව ඇත.

මගීන්ගේ ප්‍රවාහන කාලය සියයට 30 - 35කින් අඩුවීම, අනතුරු හා අවදානම අවමවීම, ඉන්ධන ඉතිරිය, මාර්ග තදබදය අඩුවීම, නාස්තිය අවමවීම නිසා රුපියල් මිලියන 150ක ආර්ථික ප්‍රතිලාභයක් රටට අත්වන බව උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ සභාපති අශෝක අභයවර්ධන මහතා සඳහන් කළේය. එමෙන්ම මෙමඟින් බස් රථ තුළ නිරතුරුව සිදුවන කාන්තා හිංසනයද බොහෝ දුරට අඩුවනු ඇතැයිද හෙතෙම පෙන්වා දුන්නේය.

මෙම වැඩපිළිවෙළ සඳහා සෑම බස් රථයකටම සහසර ටිකට් යන්ත්‍රයක් ජී.පී.එස්. හා සී.සී.ටී.වී. කැමරාවක් සැපයෙන අතර ඒ සඳහා රුපියල් 90,000ක මුදලක් වැය කෙරේ. මෙම උපකරණ මිලදී ගැනීම සඳහා සහනදායී ණය ක්‍රමයක් ක්‍රියාත්මක කෙරේ.

ප්‍රථමයෙන් නව ක්‍රමය මහනුවර දිස්ත්‍රික්කයේ හා මධ්‍යම පළාත තුළත් අනතුරුව බස්නාහිර පළාත ඇතුළු පළාත්වල සියලු මාර්ගවලත් අන්තර් පළාත් බස් සේවාවන්වලත් ක්‍රියාත්මක කෙරේ.

ශ්‍රී ලංගමයද විධිමත් වැඩපිළිවෙළක් යටතේ මේ සඳහා සම්බන්ධ කර ගැනීමට කටයුතු යොදා ඇතැයි ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ විශේෂඥයකු වූ අමල් කුමාරගේ මහතා සඳහන් කරයි.
පොදු ප්‍රවාහන සේවාව දුර්වල තත්ත්වයට පත්ව ඇත්තේ ප්‍රමාණවත් තරම් බස් රථ නොමැතිවීම නිසා නොව අවශ්‍ය ප්‍රමාණයට වඩා ඇති බස් රථ අතර ඇති තරගකාරී බව නිසා බවද හෙතෙම පෙන්වා දෙයි. මගියා ගමනේ යෙදෙන විට අදාළ මුදල පෙරගෙවුම් පතෙන් අඩුවී පොදු ගිණුමට බැරවන අතර දිනයේ ලැබෙන මුළු ආදායම ධාවන වාරගමන් ප්‍රමාණය අනුව බස් රථ අතර බෙදා දෙනු ලබයි.