වෛද්‍යවරු 14ක් රට යාම ගැන පරීක්ෂණයක්

මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරුන් 14දෙනකු එකවර ෙඩන්මාර්කයේ සංචාරයක යෙදීම සම්බන්ධව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය අැමැති රාජිත සේනාරත්න මහතා ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

ඖෂධ සමාගමක මූල්‍ය ප්‍රතිපාදන මත මෙම වෛද්‍යවරුන් විදේශ සංචාරයට සහභාගී වී ඇති බවට පැමිණිලි ලැබී ඇති බව අමාත්‍යවරයා පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින්ද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින්ද එම වෛද්‍යවරුන් සම්බන්ධ පරීක්ෂණ පැවැත්වෙයි.

මෙම වෛද්‍යවරුන් 14 දෙනා සම්මන්ත්‍රණයකට බව පවසා මෙසේ එකවර විදේශගත වී ඇතැයි කියයි. මොවුන් මෙසේ එකවර විදේශගත වීම සම්බන්ධව සෞඛ්‍ය ඇමැතිවරයා දැනුවත් කර නැති බවද පැවසේ.

අපේක්ෂා රෝහල වැනි බරපතළ තත්ත්වයේ රෝගීන් සිටින රෝහලක වෛද්‍යවරු 14දෙනකු මෙසේ එකවර විදේශගතවීම එම රෝහලේ කටයුතුවලට බාධාවක් වී තිබිණි.

මෙම වෛද්‍යවරුන් නෝර්වේ රටේ සහභාගී වූ සම්මන්ත්‍රණය කුමක්ද ඔවුන් ඒ සඳහා වැය කළ මුදල් රජයේ ද එසේ නැතහොත් යම් කිසි අනුග්‍රාහකයකු සිටියේ ද එසේ නම් ඔවුන් කවුරුන්ද ආදී වශයෙන් මෙම විදේශගතවීමට අදාළ සියලුම කරුණු හෙළි කර ගැනීම සඳහා පරීක්ෂණයක් පවත්වන ලෙස මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

අමාත්‍යාංශය මඟින් සිදු කරන ලද පරීක්ෂණයේ දී එම වෛද්‍යවරුන්ගේ ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටියි. එහි වාර්තාවක් ලබන සඳුදා (4) අමාත්‍යවරයා වෙත බාරදීමට ද නියමිතව තිබේ.

මේ අතර පිළිකා රෝගීන් සඳහා ලබාදෙනු ලබන රුසියාවෙන් ආනයනය කරන ලද ‍ඖෂධ රෝගීන්ට නිර්දේශ නොකරන වෛද්‍යවරුන් පිළිබඳව ද සෞඛ්‍ය අමාත්‍යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ. එම විමර්ශනයේ වාර්තාව ද ලබන සඳුදා අමාත්‍යවරයා වෙත ලබාදීමට නියමිතව ඇත. එවැනි ‍ඖෂධ වර්ග නිර්දේශ කෙරෙන වෛද්‍යවරු සම්බන්ධයෙන් ද විනයානුකූල පියවර ගන්නා ලෙස අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා දැනුම් දී ඇත.