නව ව්‍යවස්‌ථාවට එරෙහිව මහ සමුළුවක්‌

නව ව්‍යවස්‌ථාවෙන් රටට, ජාතියට හා ආගමට හානියක්‌ වෙයි නම් එය පරාජය කිරීමට ඕනෑම පාර්ශ්වයක්‌ සමඟ කොන්දේසි විරහිතව එක්‌ වන බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම්, රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (29 වැනිදා)  පැවසූහ.

මෙම ව්‍යවස්‌ථාවෙන් රටට වන හානිය පිළිබඳ රට දැනුවත් කර ඊට එරෙහිව ජනමතයක්‌ ගොඩනැඟීම සඳහා බොදු බල සේනා සංවිධානය ලබන හත් වැනිදා "අත තියන්න එපා රටට" තේමාව යටතේ දැවැන්ත සමුළුවක්‌ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවත්, ඒ සඳහා සියලු ජාතික සංවිධානවලට ආරාධනා කර ඇති බවත් උන්වහන්සේ සඳහන් කළහ.

රටේ සම්පත් විකුණා දැමීමට එරෙහිව හා නව ව්‍යවස්‌ථාවෙන් රට බෙදන ප්‍රයත්නයට එරෙහිව එක පෙරමුණක සිට සටන් කිරීමට එක්‌ වන ලෙස සැමගෙන් ඉල්ලා සිටින බවත් පැවැසූහ.

වෙන වෙන මාතෘකා සාකච්ඡාවට නොගෙන රට බෙදන වත්මන් ආණ්‌ඩුවේ උත්සාහයට එරෙහිව මුහුණ පොත ඇතුළු සමාජ ජාල මාධ්‍ය භාවිතා කරන්නැයි එය පරිශීලනය කරන්නන්ගෙන් ඉල්ලීමක්‌ කරන බවත් ඥනසාර හිමියෝ වැඩිදුරටත් පැවසූහ.