මුස්ලිම් විවාහ නීතිය නිසා එම කතුන් දැඩි අර්බුදයක

ශ්‍රී ලංකාවේ මුස්ලිම් විවාහ නීතිය දශක ගණනාවක් මුළුල්ලේ සංශෝධනයට ලක් නොවීම හේතුවෙන් මුස්ලිම් කාන්තාව දැඩි පීඩනයකට ලක්ව ඇති බව වාර්තා වේ.

මේ වන විට ළමා විවාහ සම්බන්ධ ගැටලු, දික්කසාදයට අදාළ ප්‍රශ්න සහ මානසික ගැටලුවලින් මුස්ලිම් කාන්තාවන් විශාල පිරිසක් පීඩා විඳිමින් සිටින බව ට ද මුස්ලිම් ක්‍රියාකාරීන් පිරිසක් බීබීසී සංදේශයට පවසා තිබුණි.

මුස්ලිම් විවාහ නීතියේ විවාහයට එළඹෙන කාන්තාවන්ගේ වයස් සීමාව පිළිබඳව සඳහන් වී නොමැති අතර ‘ක්වාසි’ නමින් හැඳින්වෙන විශේෂ ආගමික විනිසුරන්ගේ අවසරය මත වයස12 කට අඩු ගැහැනු දරුවකු වුව ද විවාහ කර දිය හැකි බව වාර්තා වේ.

එසේම මෙම නීතියට අනුව ස්ත්‍රියක් විවාහ වීමේ දී ඇයගේ අනුමැතිය වෙනුවෙන් අත්සන් කරනු ලබන්නේ ඇයගේ භාරකරුයි. ලිංගික අතවර කිරීම් වැනි ඉතා සංවේදී කරුණක් සම්බන්ධයෙන් පවා විභාග කරනු ලබන්නේ පුරුෂයන්ගෙන්පමණක් සමන්විත අධිකරණයක් විසින් බව පැවසේ.

මෙම නීතියට අනුව පුරුෂයාට සිය බිරිඳ වෛවාහක වරදක්‌ නොකළත් ඇය තමාට යුතුකම් ඉටු නොකරන්නේ යැයි මුස්ලිම් අධිකරණය වෙත පැමිණිලි කර දික්‌කසාදය ලබාගත හැකිය. එසේම පුරුෂයන් හට බහු විවාහ සඳහා අවසරය හිමි වන අතරම දික්‌කසාදයක්‌ ලබා ගත් කාන්තාවකට නැවත විවාහයකට එළඹිය නොහැකිය.

පවුල් තුළ ගෘහස්ථ හිංසනයට සහ විවිධ අඩත්තේට්ටම්වලට ලක් වීමට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමේ අවස්ථා ඉතා සීමිත වේ. විවාහක බිරිඳක් වෙනත් පිරිමින් සමඟ ගණුදෙනු පැවැත්වීම තබා වෙනත් පිරිමියකුගේ ඇස ගැටීම පවා වරදක් ලෙස ඇතැම් අවස්ථාවල තීරණය වී තිබේ.

පසුගිය දා මුස්ලිම් විවාහ පනත සංශෝධනය කිරීම සලකා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට්අ නුමැතිය හිමි විය.එම තීරණය පිළිබඳ දැනුම් දෙමින් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කරනු ලැබුවේ ඨීඡූ සහනය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව එකඟ විය යුතු ජාත්‍යන්තර ප්‍රඥප්තියකට අදාළ කාරණයක් ලෙස මෙය හඳුනාගෙන ඇති බවයි.

ශ්‍රී ලංකාවේ අපරාධ දණ්ඩ නීති සංග්‍රහයේ විවාහයට අයත් කොටස මුස්ලිම් ජනතාවට අයත් නොවන අතර ඔවුන් සඳහා මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය බලපැවැත්වේ. උදාහරණයකට මෙරට සාමාන්‍ය නීතියට අනුව වයස අවුරුදු දහඅටට අඩුවෙන් ළමුන් විවාහ වීම නීති විරෝධී වන නමුත් මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතට අනුව මුස්ලිම් ප්‍රජාවට එම නීතිය බල නොපැවැත්වේ. මේ පනත අවසන් වරට සංශෝධනයට ලක්ව ඇත්තේ1957 වසරේ දී යි.

කෙසේ වෙතත් මුස්ලිම් නීතිය යටතේ විවාහ විය යුතු අවම වයස් සීමාව ඇතුළු මානව අයිතිවාසිකම් යටතේ එන කරුණු සම්බන්ධ විධි විධාන ශ්‍රී ලංකාව ද පාර්ශ්වකරුවකු වන ඇතැම් ජාත්‍යන්තර ප්‍රඥප්තිවල නිශ්චිතව දක්වා ඇති විධි විධානවලට අනුකූල නොවන බැවින් මෙම පනත සංශෝධනයට පියවර ගත යුතු බවට මත පළ වී තිබේ. එසේම ඕනෑම සමාජයක ළමා විවාහ සිදු වන්නේ නම් සහ කාන්තාවන්ට එරෙහි වෙනස් ලෙසකින් සලකන්නේ නම් සිදුවීම එය මානව හිමිකම් ප්‍රශ්නයක් බව ද මෙහි දී මානව හිමිකම් ක්‍රියාකාරීන් පවසයි.
- සිතාරා කුලරත්න