වසීම් අක්‍රම් ශ්‍රී ලංකාවෙන් ඉඩමක්‌ සොයයි

ක්‍රිකට්‌ ඉතිහාසයේම බිහිවූ විශිෂ්ටතම වේග පන්දු යවන්නන් තේරුවහොත් ඒ අතරට වසීම් අක්‍රම්ගේ නාමයද ඉහළින්ම යෝජනා වෙයි. ක්‍රිකට්‌ පිටියේ ආක්‍රමණකාරී පන්දු යවන්නකු වුවද ඊටත් එහා ගිය වාග් ප්‍රහාරයකු වූ වසීම් අක්‍රම් ක්‍රිකට්‌ පිටියෙන් එපිටට ගිය විට නිරහංකාර චරිතයකි.

ශ්‍රී ලංකාවට තම දෙවැනි ගෙදර බවට පවසන වසීම් අක්‍රම් ශ්‍රී ලංකාවේ ඉඩමක්‌ මිලදී ගෙන ගෙයක්‌ දොරක්‌ හදා ගැනීමේ සිහිනයකද තනිවී සිටියි. කෙසේ වෙතත් කලකට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ ඇරයුමෙන් මෙරටට පැමිණි වසීම් අක්‍රම් සමග "ඉරිදා දි අයිලන්ඩ්" පුවත්පත කළ සමුම්මුඛ සාකච්ඡාවේදී ඔහු ගැන තවත් අපි නොදන්නා දේ දැන ගත්තෙමු.

ප්‍රශ්නය - ඔබ පන්දු යවන්නෙක්‌ වශයෙන් ලංකාවට එරෙහිව සුවිශේෂී වාර්තා රැසකට හිමිකම් කියනවා. අනූවයි. දශකයේ අග භාගයේදී ටෙස්‌ට්‌ තරගවල පිට පිටම කඩුලු ත්‍රිත්ව දෙකක්‌ ලබා ගෙන තියෙනවා. මේ අතීතය ගැන සිහිපත් කළොත්?

පිළිතුර - ඇත්තෙන්ම ලංකාවට පැමිණි පළමු වතාවේදීම මම මේ රටේ ජනතාව සමග ආදරයෙන් බැඳුනා. ඒ මට උද්දීපනයක්‌ වුණා. ශ්‍රී ලාංකිකයන් හැම විටම සතුටින් සිනහවෙන් ඉන්නෙ. ඔවුන් දුප්පත් වුණත් පොහොසත් වුණත් සතුටුයි. එමෙන්ම ඔවුන් මිත්‍රශීලියි. එම නිසා තමයි ඔවුන්ගේ මුහුණු මත සිනහව තියෙන්නේ. ඒ නිසා මම ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට කොහොමත්ම කැමැතියි. කොහොම වුණත් ශ්‍රී ලංකා කණ්‌ඩායම සමග ක්‍රිකට්‌ ක්‍රීඩා කිරීම අභියෝගයක්‌. ඔවුන් සතුව ඉතා දක්‍ෂ ක්‍රීඩකයන් ඉන්නවා. මෙහි කාලගුණයත් අපට වඩාත් සුදුසු නැහැ. අර්ජුන සහ අරවින්ද දවස පුරාම මෙහි තණතීරුවල ඉතාමත් හොඳින් ක්‍රීඩා කරනවා. ඔවුන් සහ අප අතර දැඩි තරගකාරීත්වයක්‌ තියෙනවා. කොහොම නමුත් ලංකාව කියන්නේ මම කැමැති ගමනාන්තයක්‌. එස්‌.එස්‌.සී. පිටියේදී මම කඩුලු 400 ලබා ගත් අයුරු මට හොඳින් මතකයි. එස්‌.එස්‌.සී. පිටියේදීම පන්දු යවන්නන් වෙනුවෙන් පුහුණු කඳවුරක්‌ පැවැත්වීමට ආපු වෙලාවෙත් ඒ අතීතය මට මතක්‌ වුණා.

ප්‍රශ්නය - ඔබට ලංකාවෙ ගොඩක්‌ මිතුරන් ඉන්නවා නේද?

පිළිතුර - ඇත්ත. ක්‍රිකට්‌ ක්‍රීඩා කරන විට අප අතර දැඩි තරගකාරීත්වයක්‌ තියෙනවා. මම පන්දු යවද්දී අර්ජුනට යම් යම් දේවල් කියපු අවස්‌ථාත් තියෙනවා. එහෙත් ක්‍රීඩා පිටියෙන් පිට අර්ජුනත් අරවින්දත් මගේ ඉතා හොඳ මිතුරන්. ඔවුන් ශ්‍රී ලංකාව නියෝජනය කරන විශිෂ්ට ක්‍රීඩා තානාපතිවරු. ශ්‍රී ලාංකිකයන් සතු හැකියාව සහ ජවය ඔවුන්ගෙන් පිළිබිඹුq වෙනවා. ක්‍රීඩා කරන විට ඔවුන් සාහසිකයි. නමුත් ඒ හැඟීම් ඉතා හොඳින් පාලනය කර ගැනීමට ඔවුන්ට හැකියාවක්‌ තියෙනවා.

ප්‍රශ්නය - 1996 ජනවාරි 31 වැනිදා මහ බැංකු බෝම්බය පිපුරන විට ඔස්‌ටේ්‍රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් රටවල් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගවලට සහභාගි නොවීමට තීරණය කළා. එහෙත් ඉන්දියානු සහ පකිස්‌තාන් ක්‍රීඩකයන් මෙහි පැමිණිලා ඒකාබද්ධ කණ්‌ඩායමක්‌ ලෙස ක්‍රීඩා කරල ලෝකයට පණිවුඩයක්‌ දුන්නා. ඔබ එවකට පකිස්‌තාන් කණ්‌ඩායමේ නායකයා. ඒ වගේම ඉන්දීය පිලේ නායක මොහොමඩ් අසරුදීන් යටතේ ඔබ ක්‍රීඩා කරන්නත් කැමැති වුණා. මේ ගැන සිහිපත් කළොත්?

පිළිතුර - පකිස්‌තාන් ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ මා අමතල කිව්වෙ ඔස්‌ටේ්‍රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායමත් ලෝක කුසලානයේ තරගවලින් ඉවත්වීමට සූදානමක්‌ තියෙනවා. මෙය බලවත් අර්බුදයක්‌. එම නිසා මමත් මගේ කණ්‌ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනකුත් කොළඹට ගිහිල්ලා ඉන්දීය කණ්‌ඩායමේ සාමාජිකයන් සමග එක්‌ වෙලා සුහද තරගයකට සහභාගි විය යුතු යෑයි කිව්වා. ඒ අවස්‌ථාවේදී මම ඇහැව්වේ කීයටද ගුවන් යානය තියෙන්නෙ කියලා. මම එක පයින්ම ලංකාවට පැමිණිලා ක්‍රීඩා කරන්න කැමැත්තෙන් හිටියා. ඒ ගැන කිසිම දෙගිඩියාවක්‌ තිබ්බෙ නැහැ. මම දැනගෙන හිටියා ශ්‍රී ලාංකිකයන් අපව ඉතා හොඳින් ආරක්‌ෂා කරන බව. මගේ බිරිඳ සහ මගේ පවුලේ අයත් කිව්වෙ ඔබ අනිවාර්යයෙන් ලංකාවට යා යුතු බවයි. මට මතකයි අපි මෙහෙ ආපු වෙලාවෙ අපේ කණ්‌ඩායමට සැලකුවේ රාජකීයන්ට වගේ. විදේශිකයන්ට මෙහි ඉඩම් මිලදී ගැනීමට අවශ්‍ය නීති ප්‍රතිපාදන සකස්‌ කළොත් මම කැමැතියි ලංකාවෙන් ඉඩමක්‌ මිලදී ගන්න. ඒක මගේ හිතේ බොහෝ කාලයක්‌ තිස්‌සෙ තිබුණ අදහසක්‌. එහෙම වුණොත් මාස තුනකට සැරයක්‌ මම ලංකාවට ඇවිල්ලා සති කිහිපයක්‌ ගත කරල යනවා. ඇත්තෙන්ම මෙය සුන්දර විවේකී රටක්‌.

ප්‍රශ්නය - පසුගිය වසර දෙකේදී පකිස්‌තාන් කණ්‌ඩායම ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා. ඔවුන් ටෙස්‌ට්‌ ක්‍රීඩාවේ අංක එකට පත් වුණා. එහෙත් නවසීලන්තයේදී පරාජය වුණා. කොහොම නමුත් පකිස්‌තාන් ක්‍රිකට්‌ කණ්‌ඩායමේ වත්මන් තත්ත්වය ගැන ඔබේ අදහස කුමක්‌ද?

පිළිතුර - ඇත්තෙන්ම ලොව අංක එකේ ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ කණ්‌ඩායම බවට පත්වීම ඉතා විශිෂ්ට දෙයක්‌. එය පහසුවෙන් කළ හැකි දෙයක්‌ නෙමෙයි. 2009 වසරේදී ශ්‍රී ලංකා කණ්‌ඩායමට ලාහෝ නුවරදී එල්ල කළ ප්‍රහාරයෙන් පසුව පකිස්‌තාන් ක්‍රිකට්‌ ක්‍රීඩාව අර්බුදයට ලක්‌ වුණා. ඒ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාව පමණක්‌ නොව පකිස්‌තානයේ සමස්‌ත ක්‍රීඩාවම අර්බුදයට ලක්‌ වුණා. එවන් පසුබිමක්‌ තුළ මෙවැනි ජයග්‍රහණයක්‌ ලබා ගැනීම වැදගත්. ඔබේ ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ සභාපතිතුමා මෙරට ක්‍රිකට්‌ ක්‍රීඩාවේ ඉදිරි සැලසුම් ගැන හෙළි කළා. "ඒ" කණ්‌ඩායමේ සංචාර ගැන, පළමු පෙළ ක්‍රිකට්‌ ගැන, ජාතික කණ්‌ඩායම ගැන ඔහු පැවසුවා. මේ සැලසුම් ඉතා නිවැරදි අන්දමින් සකස්‌ වී තිබෙනවා. අපිටත් මෙවැනි සභාපතිවරයෙක්‌ අවශ්‍යයි. එහෙත් මෙවැනි නායකයෙක්‌ පකිස්‌තාන් ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ නැති එක ප්‍රශ්නයක්‌. අපේ පාලක මණ්‌ඩලයේ නාජම් සෙත්ති සහ ෂාර්හියර් ඛාන් හොඳ පුද්ගලයන්. ඔවුන් ක්‍රීඩාව ගැන හොඳින් දන්නවා. නමුත් දේශීය ක්‍රිකට්‌ ක්‍රීඩාව ගැන වඩා හොඳ අවධානයක්‌ යෙදිය යුතුයි.

ප්‍රශ්නය - චමින්ද වාස්‌ගේ ක්‍රිකට්‌ ක්‍රීඩා වාර්තා ඔබ තරම් සුවිශේෂී නොවන්න පුළුවන්. නමුත් ඔබ ඔහු විශිෂ්ට පන්දු යවන්නෙක්‌ ලෙස හඳුන්වනවා. විශේෂයෙන්ම මේ මන්දගාමී තණතීරුවල පීඩනයක්‌ යටතේ වාස්‌ විශිෂ්ට ලෙස පන්දු යෑවු බව ඔබ කිව්වා.

පිළිතුර - ඔහුගේ වාර්තා විශිෂ්ටයි. ඔහු ටෙස්‌ට්‌ කඩුලු 350 ක්‌ අරන් තියෙනවා. එක්‌දින කඩුලු 400 ක්‌ අරන් තියෙනවා. ඇත්තෙන්ම ඔහු දක්‍ෂයෙක්‌. එමෙන්ම වාස්‌ට පන්දු හොඳින් දෝලනය කරන්න පුළුවන්. ඒ දෝලනය හරහා පිතිකරුවන්ව බලවත් අපහසුතාවට පත්කරනවා. ඔහු තම පන්දු යෑවීම හරහා පිතිකරුවන්ව මුලා කළා. පිතිකරුවන් දෙලොවක්‌ අතර තනි කළා. ශ්‍රී ලාංකිකයන්ගේ විශිෂ්ට හැකියාව ඔහුගෙන් පිළිබිඹු වුණා.

ප්‍රශ්නය - ශ්‍රී ලාංකික පන්දු යවන්නන් සමග පැවැති පුහුණු සැසිය ගැන ඔබේ අදහස කුමක්‌ද?

පිළිතුර - බොහෝ දෙනෙකුට හොඳ වේගයක්‌ සහ දෝලනයක්‌ තියෙනවා.

ප්‍රශ්නය - වේග පන්දු යවන්නන් නිතරම ආබාධවලට ලක්‌ වෙනවා. ඔබත් එසේ වුණා. එහෙත් ඔබ ටෙස්‌ට්‌ තරග සියයකට වඩා තරග කළා මෙන්ම එක්‌දින තරග 350 කට වඩා සහභාගි වුණා. එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට්‌ තරගාවලි වලටත් සහභාගි වුණා.

පිළිතුර - මම ලැන්කෂයර් ප්‍රාන්ත පිල නියෝජනය කරමින් පළමු පෙළ තරග සියයකට වඩා සහභාගි වුණා. හැමදාම නිදාගෙන නැගිටිනකොට මගේ කොහේ හරි රිදෙනවා. එවිට මම වේදනා නාශක පෙති ටිකක්‌ ගන්නවා. දැන් කාලයේ කණ්‌ඩායමකට සහයකයන් හත්දෙනෙක්‌ පමණ ඉන්නවා. ක්‍රීඩකයකුට මොකක්‌ හරි වුණ ගමන් ඔවුන් කියනවා මෙහෙම වෙයි අරම වෙයි කියලා. ඒත් දැන් ක්‍රීඩකයෝ වහාම විවේක ගන්නවා. නමුත් ඒ කාලයේ එහෙම නෙමෙයි.

ප්‍රශ්නය - ඉම්රාන් ඛාන් වැනි සුවිශේෂී නායකයකුගෙන් ඔබ ලැබු ආදර්ශය මොකක්‌ද?

පිළිතුර - ක්‍රීඩා පිටිය තුළදී මෙන්ම පිටතදීත් ඔහුගෙන් අප ලැබු ආදර්ශ බොහොමයි. ඔහු නිසා අපි උද්දීපනයක්‌ ලැබුවා. ඉම්රාන් ඛාන් තමයි මට ආත්මවිශ්වාසය ලබාදුන්නෙ. ඔහුගේ සෙවණ යට ඉඳල මට මේ ගමන යන්න පහසු වුණා.

ප්‍රශ්නය - 1992 ක්‍රිකට්‌ ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ඔබ තරගයේ වීරයා බවට පත් වුණා. ඔබගේ ක්‍රීඩා දිවියේ ඉතාමත් වැදගත්ම අවස්‌ථාවක්‌ ලෙස එය සැලකිය හැකියි නේද?

පිළිතුර - අරවින්ද ද සිල්වාට 1996 ලෝක කුසලාන අවසන් තරගය කෙසේ වැදගත් වන්නේද එසේම මටත් 1992 තරගයත් එසේම වැදගත්. එය මගේ ක්‍රීඩා දිවියේ ඉතාමත් වැදගත් අවස්‌ථාවක්‌. මම ටෙස්‌ට්‌ තරග සියයකට වඩා ක්‍රීඩා කරල තියෙනවා. ඒ අතර මගේ මතකයේ

රැඳෙන තරග බොහොමයක්‌ තියෙනවා. 1987 දී ඉන්දියාවට එරෙහිව බැංගලෝර්හිදී පැවැති ටෙස්‌ට්‌ තරග මගේ ක්‍රීඩා දිවියේ සුවිශේෂී තරගයක්‌. ඒ මගේ පළමු ඉන්දීය සංචාරයයි. තරග ජයග්‍රහණය සඳහා ලකුණු 221 ක ඉලක්‌කයක්‌ හඹා ගිය ඉන්දීය කණ්‌ඩායම ලකුණු 204 කට දවා ගැනීමට අපට හැකි වුණා. 1999 මදුරාසියේ පැවැති ටෙස්‌ට්‌ තරගයත් මට හොඳින් මතකයි. අපි ඉන්දියාවේ සංචාරය කළේ වසර දහයකට පසුවයි. කඩුලු හතරක්‌ අතැතිව ඉන්දියාවට ජය ගැනීමට තවත් ලකුණු 32 ක්‌ අවශ්‍යව තිබුණා. ඒ අවස්‌ථාවේ සචින් ලකුණු 136 ක්‌ ගහල නොදැවී සිටියා. නමුත් අපි සචින් දවාගෙන ලකුණු 12 කින් එම තරගය ජයග්‍රහණය කළා. 1992 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුව සිදුකළ එංගලන්ත ක්‍රිකට්‌ සංචාරයත් අමතක වෙන්නෙ නැහැ.

සාකච්ඡා කළේ - රෙක්‌ස්‌ ක්‌ලෙමන්ටයින්
සිංහල පරිවර්තනය - චතුර පමුණුව