පිළිකා නසන දිව ඔසුව ලාවුළු

ඈත අතීතයේ සිටම මෙරට ජනතාව ලෙඩරෝගවලින් මිදීමට විවිධ උපක්‍රම යොදාගත් බව අපි දනිමු. අදටත් අප සාම්ප්‍රදායික දැනුම ලෙස භාවිත කරනුයේ පරම්පරා සිය ගණනක් ඔස්සේ ඔවුන් කළ කී දෑය. අප අද භාවිත කරන සාම්ප්‍රදායික දැනුම ඔවුන් එදිනෙදා ජීවිතයේදී ලද අත්දැකීම් අනුව පරම්පරාවෙන් පරම්පරාවට දියුණු වූ දැනුම වෙයි. ආහාර සෞඛ්‍ය පිළිබඳ අපගේ පර්යේෂණාගාරය වූයේ මුළුතැන්ගෙයයි. එම පර්යේෂණාගාරයේ විද්‍යාඥයන් වූයේ අපේ මුතුන්මිත්තන්ය. අධිවේගී ගමනක යෙදෙන අපගේ ජනතාවට දෙඇස් ඇර බලන්නට කාලයයි මේ.

වර්තමාන ලෝකයේ මෙම වෙළෙඳ‍පොළ ආර්ථිකය හමුවේ ඖෂධ හා සෞඛ්‍ය ක්ෂේත්‍රය යනු තවත් එක් මාෆියාවක් පමණි. එනම් මෙම ක්ෂේත්‍රය ධන උල්පත් බවට පත්වී හමාරය. ඊට හේතුව වනුයේ ජනතාවගෙන් බහුතරය කුමන හෝ රෝගයකින් පෙළෙන බැවිනි. තවද විවිධ රෝගවලින් මිදීම සඳහා නිපදවෙන ආහාර අතිරේක, රූපලාවණ්‍ය සඳහා යොදාගන්නා වූ විවිධාකාර වූ නිෂ්පාදන ආදියෙන් වෙළෙඳ‍පොළ පිරී ඇත්තේය. අතීතය, සම්ප්‍රදායික දැනුම අමතක වූත් නොදන්නා වූත් සමාජයට නම් මේවා නම් අරුමයකි. මහන්සියෙන් උපයාගත් ධනය මෙසේ විවිධ දෑ වෙනුවෙන් පුදන්නේ අපගේ නොදැනුවත්කම නිසාමය.

අද අපි සේවා ආර්ථිකයත් සමග ඉතා කාර්යබහුල වී සිටිමු. ඒ නිසාම අපි රෝගීද වී සිටිමු. එම රෝගවලින් මිදීම සඳහා විවිධාකාර වූ පෙති, කරල්, කෂාය බිමෙන් මේ වනවිට අපි හෙම්බත් වීද සිටිමු. එම නිසාම රෝගවලින් මිදීමට මෙන්ම පාලනයටද විවිධ ආහාර හා විහරණ රටා කෙරෙහි වැඩි අවධානයක් යොමුවී හමාරය.

අප භාවිතයෙන් ඈත්කළ බොහෝ ශාකයන් අප අතරින් වඳවී යමින් තිබේ. මීට ටික කලකට පෙර සෑම ගෙවත්තකම තිබුණු ලාවුළුද එසේ ‍පෝෂණීය අගයෙන් යුත් විශේෂ පලතුරක්.

අප රටෙහි ලාවුළු ප්‍රභේද දෙකක් දක්නට ඇත. කොහොල්ලෑ ලාවුළු සහ රට ලාවුළු ලෙසිනි. එය උද්භිද විද්‍යාත්මකව Chrysophyllum roxburghii හා Pouteria campechiana ලෙස හැඳින්වෙයි. කොහොල්ලෑ ලාවුළු යනු කොළපාටට හුරු, කොහොල්ලෑ වැනි ලාටු විශේෂයක් ඇති විශේෂ කොහැල්ලෑ ලාවුළු වෙයි. ලංකාව, ඉන්දියාව වැනි ආසියාතික රටවල දක්නට ඇති විශේෂයකි. ලාවුළු කෑමට පසුබට වන්නේ එහි ඇති ලාටු වැනි ඇලෙනසුලු ද්‍රව්‍යය නිසාය. නමුත් කුඩා ඉරටුවක් වැනි කෝටුවක් මගින් කොහොල්ලෑ ඉවත් කර ආහාරයට ගත හැකිය. රට ලාවුළු එසේ නොවේ. ඉදුණු පසු කහපාට වී බිමට වැටෙයි. ඇතුළෙහි ඇත්තේ පිටි ගතියකි. මෙහි දිගටි මෙන්ම රවුම් ස්වභාවයේ ගෙඩි හටගනී. මෙම ගෙඩිවලද අමු අවස්ථාවේ කිරි ඇලෙනසුලු ස්වභාවයක් ගනී. නමුත් ඉදුණු පසු එසේ නොවේ.
මෙය ලෝකයේ බොහෝ රටවල පලතුරක් මෙන්ම ආහාරයක් ලෙසද ඉතා ජනප්‍රිය ය. ලාවුළු ආහාරයට ගැනීමෙන් අපට ශාරීරික වශයෙන් ප්‍රයෝජන රාශියක් ලබාගත හැකි වේ. ලාවුළුවල ශක්තිය, ඛනිජලවණ, විටමින් වර්ග, තන්තු, කැල්සියම්, පිෂ්ටය, මේදය, ‍ප්‍රෝටීන් ආදී බොහෝ දෑ අන්තර්ගත වේ. එබැවින් ‍පෝෂ්‍ය ගුණයෙන් අනූන ලාවුළු අප ලෙඩරෝග කිහිපයකින් ආරක්ෂා කරදෙයි.

ලාවුළු පලතුරක් ලෙස මෙන්ම එළවළුවක් ලෙසද ආහාරයට ගත හැකි වේ. ඉදුණු ලාවුළු ආහාරයට ගැනීමෙන් අද බොහෝ දරුවන් මුහුණ පා සිටින රක්තහීනතාවට දිය හැකි හොඳම ඖෂධය වේ. එම නිසා රක්තහීනතාව නිසා හටගත් වෙනත් රෝගද මගහරවා ගැනීමට ලාවුළු ආහාරයට ගැනීමෙන් හැකියාව ලැබේ. කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා එක සේ ගුණදායක වන ලාවුළු ඇස් පෙනීමේ දුර්වලතා මගහරවා ගැනීමේ ශක්තිය වැඩි කරයි.

දියවැඩියාව, රුධිරගත මේදය මෙන්ම මලබද්ධය ඇති රෝගීන්ට මහඟු පලතුරක් වේ. මෙහි තන්තු ප්‍රමාණයද අධික හෙයින් මලබද්ධය දුරු කරයි. ආහාර ජීරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය යහපත් කරයි. අප ගන්නා ආහාර ශක්තිය බවට පරිවර්තනය කරලීමට ලාවුළුවලට විශේෂ හැකියාවක් ඇත. දියවැඩියා රෝගීන්ට හිතකර පලතුරක්ද වේ. රුධිරගත මේදය අවම කිරීමේ හැකියාවද තිබේ. විශේෂයෙන්ම හදවත් රෝග ඇති අය සඳහා සුවිශේෂ පලතුරකි. තවද ලාවුළු ආහාරයට ගන්නා අයට හදවත් රෝග වැලඳීමේ අවදානම අඩුය. විශේෂයෙන් හෘද ධමනිහි ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරයි. හදවත ශක්තිමත් කරයි. එබැවින් වර්තමානයේ ලොකු-කුඩා කාහටත් ගුණදායක පලතුරකි.

මෙහි ඇති විශේෂ ඖෂධීය සංඝටකයන් අපගේ මොළය ආශ්‍රිතව හටගන්නා විවිධ රෝගාබාධයන්ටද හිතකරය. විශේෂයෙන් අපස්මාරය වැනි රෝග සෑදෙන අයට ඉතාමත් හොඳ පලතුරක් වේ. මොළයේ ඇතිවන විවිධ සංකූලතාවලට ඉතාමත් යහපත්ය. විවිධ හේතූන් මත රාත්‍රියට නින්ද නොයන අයටද, මානසික ආතතිය දුරු කරලීමටද ලාවුළු ඉතා යෝග්‍යය. විශේෂයෙන් ලාවුළු ඇට පෙති කපා රාත්‍රියේ වතුරේ දමා උදේට හිස් බඩ බිමෙන් ඉහත ප්‍රතිඵල අත්කර ගත හැකි අතර, එයින් පිරිමින්ගේ ශුක්‍ර ධාතුද වර්ධනය වේ. කාම ශක්තිය වැඩිවේ. ලාවුළු ආහාරයට ගැනීමෙන් කාන්තාවන්ට වැලඳෙන ශ්වේත ප්‍රදර වැනි රෝග තත්ත්වයන්ද මගහරවා ගත හැකිවේ.

ලාවුළු ආහාර ජීරණ පද්ධතියේ හොඳින් ක්‍රියාකරන පලතුරක් බැවින් දරුවන්ට ඉතාමත් යෝග්‍ය වේ. දරුවන්ට වැලඳෙන වටපණු රෝගයට පිළියමක් ලෙසද ලාවුළු ආහාරයට දිය හැකිය. තවද දරුවන්ගේ අස්ථි ශක්තිමත් කිරීමටද ඉතා හොඳ පලතුරකි. තවද දරුවන්ගේ ප්‍රතිශක්තිය වර්ධනයටද ඉතා යහපත්ය. නිරන්තරයෙන් බෝවන රෝගවලට ගොදුරු වන අය ලාවුළු ආහාර කොටගන්නේ නම් එම තත්ත්වයෙන් මිදිය හැකිය. ලෝකයේ බොහෝ රටවල එච්.අයි.වී. ආසාදිතයන්ගේ ආහාර වට්ටෝරුවට ලාවුළු එකතු වී ඇත්තේ ඒ අනුවය.

ලාවුළු අග්න්‍යාශයේ සහ අක්මාව ආරක්ෂා කරන පලතුරක් ලෙසද නූතන පර්යේෂකයන් විසින් සොයාගනු ලැබ ඇත. විශේෂයෙන් මද්‍යසාර හා වෙනත් විෂවීම් නිසා අක්මාවට සිදුවන හානිය අවම කිරීමට ලාවුළුවලට හැකියාව ඇතැයිද පැවසේ. අග්න්‍යාශයේ ක්‍රියාකාරීත්වය යහපත් කරන හෙයින් දියවැඩියාව වැනි රෝග තත්ත්වයන් මගහැරවීමට හැකියාව ඇති බව කියැවෙයි. එසේම පිළිකා ෙසෙල යම් දුරකට විනාශ කරලීමේ හැකියාව ලාවුළුවලට ඇති බව ප්‍රකටය. ස්නායු ක්‍රියාකාරීත්වය යහපත් කිරීමට ලාවුළුවල අඩංගු ‍පෝෂ්‍ය සංඝටකයන්වලට හැකියාව ඇති බව විද්වතුන්ගේ මතයයි.
ලාවුළු ආහාරයට ගැනීමෙන් සමේ තත්ත්වය වර්ධනය යහපත් කරගත හැකිය. ලාවුළු දීප්තිමත් සමක් ලබාදෙයි.

විශේෂයෙන් ලාවුළු සමෙහි ඇතිවන විවිධ රෝගවලට ප්‍රතිවිරුද්ධව කටයුතු කරන බැවින් චර්ම රෝගවලින් සම ආරක්ෂා කරයි. දිගු දීප්තිමත් කෙස් කලඹක් ලබාදීමටද ලාවුළුවලට හැකියාව ඇත. අධික මිල ගණන් ගෙවා විවිධ රූපලාවණ්‍ය ද්‍රව්‍ය භාවිත කරනු වෙනුවට ලාවුළු භාවිතයෙන් රුව වැඩි කරගත හැකි බව විශේෂයෙන් සිහිපත් කරවමු.

නොයෙක් රටවල උණ සමනය කරනු සඳහා ලාවුළු ගසේ ‍පොතු භාවිත කරයි. කල්ගිය තුවාල සේදීමටද ලාවුළු ‍පොත්ත තැම්බූ වතුර යොදා ගැනෙයි. ලාවුළු පලතුරක් වශයෙන් මෙන්ම එළවළුවක් ලෙසින්ද භාවිත කළ හැකි ‍පෝෂණීය ආහාරයකි. හොඳින් පැසුණු ලාවුළු ගල් ගාන තහඩුවෙන් ගා තම්බා හෝ තම්බා දිය හැර එහි ඇති කිරි ස්වභාවය ඉවත් කර මැල්ලුම්, ව්‍යාංජන ආදිය සකසාගත හැකි වේ. එය විෂ රසායනිකයන් යෙදූ පරිප්පුවලට වඩා යෝග්‍ය බව කිව හැකිය. නමුත් මෙවැනි ආහාර අප තුළින් ගිලිහී ගොස් හමාරය. ඒ නිසාම මේ හා බැඳී ඇති සම්ප්‍රදායික දැනුමද ගිලිහී යයි. ලාවුළු පිටි මගින් පිට්ටු හා වෙනත් රසකැවිලි වර්ගද සෑදිය හැකිය. විවිධ රසකාරක යෙදූ ආහාර වර්ග වෙනුවට මෙවැනි පලතුරු වර්ග හා ඒ ආශ්‍රිත ආහාර වර්ග හුරුකරලීමෙන් දරුවා නිරෝගීව තබා ගැනීමට හැකියාව ලැබෙයි. ලොකු-කුඩා කාහටත් ගුණදායක වන ලාවුළු අධික ලෙස ආහාරයට නොගත යුත්තේ එහි අධික ලෙස ඇති ‍පෝෂණ සංඝටකයන් එකවර ශරීරයට අවශෝෂණය කරගැනීමට ශරීරයට අපහසු වී මත් ස්වභාවයක් ඇතිකරන හෙයිනි. එහෙයින් එය කෙතරම් ගුණදායක වුවත් පමණ දැන ආහාරයට ගත යුතුය.

ඒකාකාරී ආහාර රටාවෙන් මිදීමට මෙවැනි ආහාර පිළිබඳව විමසිලිමත් වන්න. එවිට අතීත මුතුන්මිත්තන් මෙන් නිරෝගී කාය ශක්තියෙන් හෙබි පරපුරක් බිහි කරගැනීමට හැකියාව ඇතිවනවා මෙන්ම ඖෂධ වෙනුවෙන් පිටරටට ඇදී යන මුදල් සම්භාරයද ඉතිරි කරගත හැකි වේ.
දේශීය වෛද්‍ය පාලිත ශ්‍රී ගීගනආරච්චිගේ කථිකාචාර්ය / මා‍ලේවන ශ්‍රී ඥානිස්සර ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය