නබිනායකතුමාගේ ජන්ම දිනය අද

ලොවපුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන ශුද්ධවූ නබි නායකතුමාගේ උපන්දිනය සිහිපත් කෙරෙන මිලාද්- උන්- නබි උත්සවය අදට (12 දා) යෙදී තිබේ. 

ඉස්ලාම් ආගමේ අවසන් නබිතුමාණන් ලෙස හැඳින්වෙන මුහම්මද් නබිතුමාණන් උතුම් සාරධර්ම සපිරි සමාජයක් නිර්මාණය කරලීමට උත්සාහ ගත් ශ්‍රේෂ්ඨ ආගමික නායකයකු ලෙස ජනතා බුහුමනට පාත්‍ර වී තිබේ.

ශ්‍රී ලාංකීය ඉස්ලාම් බැතිමත්හු ද අද සිය සහෝදර බැතිමත්හු සමග එක්ව සම්ප්‍රදායානුකූලව ශුද්ධ වූ මුහම්මද් නබිතුමාගේ උපන්දින උත්සවය සැමරීමට එක්ව සිටිති. ඉකුත් දින 12ක කාලයක් නබි නායකතුමා සිහිකරමින් ආගමික වතාවත්වල යෙදෙමින් ගත කළ ඉස්ලාම් ජනතාව අද සම්ප්‍රදායික ලෙස නබි නායකතුමාගේ උපන්දිනය සමරමින් සිය නෑ හිතමිතුරන් සමග උත්සවශ්‍රීයෙන් ගතකරති.


නබිනායකතුමන්ගේ උපන් දින පණිවිඩ

නබිතුමාගේ දැක්ම අදටත් අදාළ වන සර්වකාලීන දහමක් – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

විශ්වීය සහෝදරත්වයේ ධජය ලෙළදෙන නබිතුමාගේ දැක්ම අද දවසටද, අත්‍යන්තයෙන්ම අදාළ වන සර්වකාලීන දහමක් බව අදට යෙදෙන නබිනායකතුමන්ගේ උපන් දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබේ.

ජනාධිපතිවරයා නිකුත් කොට ඇති සුබපැතුම් පණිවිඩය මෙසේය.

මානව ශිෂ්ටාචාරයේ ආධ්‍යාත්මික පරිණාමය ඇරඹෙන්නේ ආගම් පහලවීමත් සමගමය. එතැන් සිට මානවයා හික්මීමකින් හෙබි, පිළිවෙතින් සරු, විනයගරුක දිවිපවෛතකට අනුගත වූයේය.

සියලු ආගම් ශාස්තෘවරුන්ගේ දැක්ම සමාජ යහපතම අරමුණු කරගත්තකි. සාමය සහ සහජීවනය මෙන්ම මිනිසා අතර වන මානුෂීය බැඳීම්වල වටිනාකම් අගයන ශුද්ධ වූ නබිනායකතුමාගේ ඉගැන්වීම් විශ්ව ප්‍රජාව වෙත ගලායනුයේ අසීමිත මානව ප්‍රේමයේ සුවඳ විහිදුවාලමිනි.

මක්කම ආක්‍රමණය කෙරුණු අවස්ථාවේ බලයෙන් අනූනව හුන් උන්වහන්සේ දේශනා කළේ මිනිසකු තවත් මිනිසකුට වඩා උසස් යැයි සිතීම මෙන්ම, මිනිසුන් දෙදෙනකු අතර ඇති වෛරයද මම හෙළා දකිමි යනුවෙනි. ඒ තුළම උන්වහන්සේගේ මහා මානව දැක්ම කැටපත්ව තිබේ.

විශ්වීය සහෝදරත්වයේ ධජය ලෙළදෙන නබිනායකතුමාගේ දැක්ම, සමාජ සහජීවනය සහ මනුෂ්‍යත්වයේ උණුසුම් සබැඳියාව ඉහළින් අගයන අද දවසටද අත්‍යන්තයෙන්ම අදාළ වන සර්වකාලීන දහමකි.

ශුද්ධ වූ නබිනායකතුමාගේ ජන්ම ලාභය දේශසීමා අතික්‍රමණය කරමින් විශ්ව ප්‍රජාව වෙත ‍පොදු සුබ පැතුමක් බවට පත්වන්නේ එහෙයිනි. අද දින සමස්ත ලෝකවාසී මුස්ලිම් ප්‍රජාව අතිමහත් බැතියෙන් සමරන මිලාදුන් නබි උත්සවයට ශ්‍රී ලංකාවාසී ජනතාවගේ සහ මාගේ සුබපැතුම් පිරිනමමි. යැයි එහි සඳහන්ය.

ඉස්ලාම් ධර්මය මුළුමහත් මානව සංහතියටම දායාදයක් – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

මුහම්මද්තුමා මෙන්ම ඉස්ලාම් ධර්මය මුළුමහත් මානව සංහතියටම දායාදයක් බවත්, අන්ධානුකරණය සහ අන්තවාදය පරාජය කරමින් මධ්‍යස්ථ ජන සමාජයක් බිහිකිරීමේ වගකීම එතුමන්ට දෙවියන්ගෙන් පැවරී තිබූ බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මිලාදුන් නබි දින සුබපැතුම් පණිවිඩයක් එක් කරමින් කියා සිටියි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කොට ඇති එම නිවේදනයේ මෙසේද සඳහන්ය.
ලොවපුරා වෙසෙන මුස්ලිම් භක්තිකයෝ ඉස්ලාම් ධර්මයේ ශාස්තෘවරයාණන් වූ මානවයාට දායාදයක් වූ නබිනායක මුහම්මද්තුමන්ගේ ජන්ම සංවත්සරය නැවතත් ස්මරණය කරන්නෝය. මෙම මිලාදුන් නබි සංවත්සරය ඉතා උත්සවශ්‍රීයෙන් සමරන ලෝවැසි සියලුම මුස්ලිම්වරුන්ටත් විශේෂයෙන් ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාවටත් මා සුබ පතනවා.
මුහම්මද්තුමා සහ ඉස්ලාම් ධර්මය මුළුමහත් මානව සංහතියටම දායාදයකි. එහි ඉගැන්වීම් මුස්ලිම් බැතිමතුන්ට පමණක් සීමාවූයේ නැහැ. නබිතුමන්ගේ ආදර්ශය මිනිස් කුලයටම වටින්නේය. කරුණාව, ඉවසීම, නිර්භීතකම, දයානුකම්පාව, සත්‍යයේ පිහිටීම, අධර්මිෂ්ටකම් පිටුදැකීම, යුක්තිය සහ සමානාත්මතාව ස්ථාපිත කිරීම, දූරදර්ශී නායකත්වය වැනි ශේ්‍රෂ්ඨ ගුණාංගවලින් සපිරි එතුමාගේ ප්‍රබල චරිතය ඕනෑම මතවාදයක් දරන එහෙත් මිනිසාට සේවය කිරීමට සිතන සැමට ආදර්ශයකි.

එවකට තම වටපිටාවේ පැවැති සමාජ විෂමතාවන්ට විරුද්ධව බුද්ධිමත් විප්ලවයක් නිර්මාණය කළ එතුමා සියලුම විරෝධතා ජයගෙන තමන් පැතූ සහෝදරත්වය සහ සමානාත්මතාව මුල් කරගත් සමාජයක් බිහි කරන්නට සමත් වුණා. භේද භින්න වී ඇනකොටාගෙන සිටි ම්‍ලේච්ඡ ජනකොටසක් අවදි කරමින් එකම ධජයක් යටතේ එක්සේසත් කරමින් විශිෂ්ට ගණයේ ශිෂ්ටාචාරයක් සඳහා වූ අඩිතාලම ශක්තිමත් කරන්නට සමත් වුණා. අන්ධ අනුකරණය සහ අන්තවාදය පරාජය කරමින් මධ්‍යස්ථ ජන සමාජයක් (උම්මතන් වසතන්) බිහි කිරීමේ වගකීම එතුමන්ට දෙවියන් වහන්සේගෙන් පැවරී තිබුණා.

මුහම්මද්තුමාගේ ශ්‍රේෂ්ඨ ඉගැන්වීම්වලින් ‍පෝෂණය ලබන ලාංකීය මුස්ලිම් සමාජය මෙරටේ සියලුම ජන කොටස් සමග ඉතා සුහදව ජීවත් වෙනවා. සිය ශාස්තෘවරයාණන්ගේ මග පෙන්වීමෙන් පන්නරය ලබමින් ශ්‍රී ලාංකේය අනන්‍යතාව ශක්තිමත් කිරීමට නිතර කටයුතු කරන මුස්ලිම් ප්‍රජාවට මාගේ ප්‍රාර්ථනය සහ සහයෝගය ප්‍රකාශ කරනවා. යැයි එම නිවේදනයේ සඳහන්ය.