ඒඩ්ස්‌ සුව කරන එන්නතක්‌ අත්හදා බලයි

මෙතෙක්‌ ලොව පුරා මිලියන 35 ක පමණ ජනගහනයකට මරු කැඳවා ඇති ඒඩ්ස්‌ රෝගය සඳහා නිපදවා ඇති සාර්ථක යෑයි පිළිගැනෙන එන්නතක්‌ නොවැම්බර් 30 වැනිදා සිට දකුණු අප්‍රිකාවේ අත්හදා බැලීම ආරම්භ කර තිබේ.

වසර 2009 දී තායිලන්තයේ අත්හදා බැලූ ඒඩ්ස්‌ රෝගයට හේතු වන එච්. අයි. වී. වයිරසයෙන් ආරක්‍ෂා වීම සඳහා සියයට 30 ක ආරක්‍ෂාවක්‌ ලබා දෙන එන්නතට පසු ලොව නිපදවූ සාර්ථක යෑයි පිළිගැනෙන ප්‍රථම ඒඩ්ස්‌ එන්නත මෙය බව පැවසේ.

දකුණු අප්‍රිකාවේ පර්යේෂණ මහාචාර්යවරියක වන ග්ලෙන්ඩා ග්‍රේගේ ප්‍රධානත්වයෙන් යුත් පර්යේෂණ කණ්‌ඩායමක්‌ විසින් නිපදවා ඇති මෙම නවතම ඒඩ්ස්‌ එන්නත එච් අයි. වී. වයිරසය පැතිරවීම වැළැක්‌වීමට ප්‍රබල දායකත්වයක්‌ දක්‌වනු ඇතැයි එම පර්යේෂණ කණ්‌ඩායම විශ්වාසය පළ කර සිටී.

1983 වසරේදී එච්. අයි. වී, වයිරසය හඳුනා ගැනීමෙන් පසු එම වයිරසය සියයට සියයකින් මර්දනය කළ හැකි එන්නතක්‌ මෙතෙක්‌ සොයා ගැනීමට නොහැකි විය. දකුණු අප්‍රිකාව තුළ මිලියන 7 ක පමණ විශාල ජනගහනයක්‌ එච්. අයි. වී. ඒඩ්ස්‌ වයිරසය සමඟ ජීවත් වන බව අනාවරණය වීම හේතුවෙන් නවතම ඒඩ්ස්‌ එන්නත එම රටේ දී ප්‍රථම වරට අත්හදා බැලීමට පර්යේෂණ කණ්‌ඩායම තීරණය කර තිබේ. අත්හදා බැලීමේ පර්යේෂණයට සම්බන්ධ වන අයකුට වසරකට මෙම එන්නත් පහක්‌ ලබා දීමට නියමිත අතර එන්නතෙහි ප්‍රතිඵලය බලාගත හැකි වනුයේ තවත් වසර හතරක කාලයකින් බව එන්නත අත්හදා බැලීමේ කාර්යය සඳහා අනුග්‍රහය දක්‌වන ඇමරිකා එක්‌සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය ආයතනය පවසයි.