ලක්ෂයේ දීමනාව රන්ජන් රාමනායකටත්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කාර්යාල දීමනාව සඳහා ජනවාරි මාසයේ සිට ගෙවීමට නියමිත රුපියල් ලක්ෂයේ දීමනාව අවශ්‍ය නැති බව කියා සිටින සමාජ සුබ සාධන හා සමාජ සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාටද ඊට අදාළ චෙක් පත පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයෙන් ගෙවීමට කටයුතු යොදා ඇත.

අදාළ ගෙවීම කරන පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයට රුපියල් ලක්ෂයේ දීමනාව අවශ්‍ය නැති බවට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මතෛක් කිසිදු ලිඛිත දැනුම් දීමක් නොකිරීම ඊට හේතු වී තිබේ.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන රුපියල් ලක්ෂයේ කාර්යාල දීමනාව තමන්ට අවශ්‍ය නැති බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඉකුත් සතියේ කථානායක කරු ජයසූරිය මහතාට ලිඛිතව දැනුම දී තිබුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දීමනා ගෙවීම කරනු ලබන්නේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය මගින් බැවින් ඔහුට එය අවශ්‍ය නැති නම් ඒ බව දැනුම් දිය යුත්තේ සිය අමාත්‍යාංශයට බව එහි ‍‍‍ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු කීවේය.

අදාළ දීමනාව අවශ්‍ය නොවන බවට සමාජ සුබ සාධන හා සමාජ සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මතෛක් කිසිදු දැනුම් දීමක් කර නැතැයිද අමාත්‍යාංශයේ එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.

ලසන්ත වීරකුලසූරිය