ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ සංචිතයේ වෙනසක්‌

දකුණු අප්‍රිකානු සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ කණ්‌ඩායමට නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්‌ සහ උපනායක දිනේෂ් චන්දිමාල් ඇතුළත් වෙද්දී පළමු වරට නවක වේග පන්දු යවන්නකු වන විකුම් සංජය ටෙස්‌ට්‌ සංචිතයට ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ඒ අනූව සිම්බාබ්වේ ටෙස්‌ට්‌ තරගාවලිය ක්‍රීඩා කළ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු වෙනුවට වෙනත් ක්‍රීඩකයන් කණ්‌ඩායමට ඇතුළත් කරමින් දකුණු අප්‍රිකානු සංචාරය සඳහා ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ සංචිතයේ ලොකු වෙනසක්‌ සිදුකර තිබේ. ආබාධයක්‌ හේතුවෙන් මාස කිහිපයක්‌ විවේකව සිටි වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර දකුණු අප්‍රිකානු සංචාරයට එක්‌කර ඇති අතර ඔහු ශ්‍රී ලංකා කණ්‌ඩායමේ සිටින වේගවත්ම පන්දු යවන්නාද වේ.

කෙසේ වෙතත් සිම්බාබ්වේදී පැවැති ටෙස්‌ට්‌ තරගාවලියේදී ශතකයක්‌ රැස්‌ කරමින් පිතිකරුවකු ලෙස දක්‍ෂතා දැක්‌වු තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්නව පළමු 15 දෙනා අතරට එක්‌කර නොමැති අතර ඔහුව 16 වැනි ක්‍රීඩකයා වශයෙන් නම් කර ඇත. තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 16 දෙනකු පිටත් කර යෑවීමට නොහැකි වුවහොත් අසේල ගුණරත්නට කණ්‌ඩායමෙන් ඉවත් වීමට සිදුවන අතර 17 වැනි ක්‍රීඩකයා වශයෙන් නිරෝෂන් දික්‌වැල්ලව නම් කර තිබේ.

කෙසේ වෙතත් අතිරේක ක්‍රීඩකයන් දෙදෙනකු සංචාරයට නම් කිරීමෙන් අමතර වියදමක්‌ දැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සිදුවන නමුත් උපරිමය 16 දෙනකු සහභාගි කරවීමට සාකච්ඡා කොට තිබේ. කෙසේ වෙතත් මෙම 16 දෙනාටම සහභාගි කරවනවාද යන්න නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය ඊයේ දැනුවත් කිරීම ප්‍රමාද කරමින් සිටියේය.

දකුණු අප්‍රිකාව සමග තරග තුනකින් සමන්විත ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගාවලිය සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා කණ්‌ඩායම අනිද්දා (10 දා) දිවයිනෙන් පිටත්ව යන අතර අනතුරුව ඔවුන් ලබන 18 වැනිදා තෙදින පුහුණු තරගයකට සහභාගි වේ. ඉන් අනතුරුව පළමු ටෙස්‌ට්‌ තරගය ලබන 26 වැනිදා සහභාගි වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්‌ඩායමට එක්‌වූ 24 හැවිරිදි දකුණතින් වේග පන්දු යවන්නකු වන විකුම් සංජය පළමු පෙළ කඩුලු 38 ක්‌ දවාගෙන තිබේ. ඔහු කොළඹ ලුම්බිණි විදුහලේ ආදි සිසුවෙකි.

සිම්බාබ්වේ සංචාරය ක්‍රීඩා කළ ශ්‍රී ලංකා සංචිතයේ සිටි ළහිරු ගමගේ, කසුන් මධුෂංක, නිරෝෂන් දික්‌වැල්ල සහ ලක්‍ෂාන් සඳකැන්ට ස්‌ථානය අහිමිව තිබේ.

ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ සංචිතය

ඇන්ජලෝ මැතිව්ස්‌ (නායක), දිනේෂ් චන්දිමාල් (උපනායක), දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්‌, උපුල් තරංග, ධනංජය ද සිල්වා, ඩිල්රුවන් පෙරේරා, රංගන හේරත්, සුරංග ලක්‌මාල්, ළහිරු කුමාර, දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප්, විකුම් සංජය සහ අසේල ගුණරත්න