ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු තානාපතිනිය ගෙදර යයි

ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව ගෙන ඒමේ ක්‍රියාවලියට සහාය දැක්‌ වූ ස්‌විස්‌ටර්ලන්තයේ ඇමරිකානු තානාපති සුසැන් ලෙවිනේ ජනවාරි 20 දා සිට සිය ධුරයෙන් ඉල්ලා අස්‌වීම නිසා ඊළාම් ඩයස්‌පෝරාව සහ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් මහතා දැඩි අර්බුදයකට ලක්‌ වී ඇත.

ඇමරිකානු තානාපතිනිය ඉල්ලා අස්‌වන බව එම ප්‍රකාශකර ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් නව ඇමරිකානු ජනපති ලෙස දිවුරුම් දෙන දිනයේදී බව ජිනීවා ආරංචි මාර්ග පවසයි.

ජිනීවා යෝජනාව ගෙන ඒමට මුල්වූ හිලරි ක්‌ලින්ටන්ගේ ආධාරකාරියක වූ සුසෑන් ලෙවිනේ ඉල්ලා අස්‌වීමට තීරණය කිරීම ඊළාම් ජනතාවට එල්ල වූ මරු පහරක්‌ බව යුරෝපා ඊළාම් ඩයස්‌පෝරාව සඳහන් කර ඇත. මේ අතර හදිසි තත්ත්වයක්‌ මතු වී ඇති බව දක්‌වමින් රටින් පිටත ඊළාම් ආණ්‌ඩුවේ නායක රුද්රකුමාරන් රටවල් 6 ක ඊළාම්වාදී සංවිධාන සමඟ සාකච්ඡාවක්‌ සංවිධානය කර ඇත.