මිලිනා සුමතිපාල අභාවප්‍රාප්ත වෙයි

milina sumathipala
සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනයේ හිටපු සභාපතිනී වූ මිලිනා සුමතිපාල අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
සම්භාව්‍ය චිත්‍රපට නිෂ්පාදකවරියක මෙන්ම දක්‌ෂ ව්‍යාපාරිකාවක ලෙස ද ප්‍රකටව හුන් ඇය මියයන විට අසූඑක්‌ වැනි වියේ පසුවූවාය. සුමති සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ දිවංගත යූ. ඩබ්ලිව්. සුමතිපාල මහතාගේ දයාබර භාර්යාව වූවාය.

එතුමිය හත්දරු මවකි. ලෝක බෞද්ධ මහා සම්මේලනයේ උප සභාපති, සුමති සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්‌ෂ ජගත් සුමතිපාල, නියෝජ්‍ය කථානායක හා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සභාපති තිලංග සුමතිපාල යනමහත්වරුන් හා සන්ධ්‍යා අලහේන්ද්‍ර, රමණි ගුණදාස, අනෝජා චන්ද්‍රතිලක, අනූෂා ධර්මදාස, ශානිකා එදිරිසිංහ යන මහත්මීහු එතුමියගේ දරුවෝය.

ළමා වියේ පටන්ම ආගම ගැන දැඩි ඇල්මකින් කටයුතු කළ එතුමිය පසුකලක සිය කාලයත්, ධනයත්, ශ්‍රමයත් බුදු දහමේ චිරස්‌ථිතිය උදෙසා නොමසුරුව වියපැහැදම් කළාය. සමස්‌ත ලංකා බෞද්ධ මහා සම්මේලන ඉතිහාසයේ මුල්ම හා එකම සභාපතිනිය ලෙස පත්වූ ඇය ගරා වැටී තිබූ එම ආයතනය යළි නඟා සිටුවීමට මූලිකව ක්‍රියා කළාය.

බුද්ධ ශාසනය, ව්‍යාපාර ක්‌ෂේත්‍රය, ජනමාධ්‍ය ක්‌ෂේත්‍රය, කලා ක්‌ෂේත්‍රය ඇතුළු ක්‌ෂේත්‍ර ගණනාවක්‌ වෙනුවෙන් ආචාර්ය මිලිනා සුමතිපාල මැතිනිය කළ සේවාව රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන රැසකින් අවස්‌ථා ගණනාවකදී සම්භාවනාවට පාත්‍ර විය. ඈ කළ මෙහෙවර වෙනුවෙන් එතුමිය ආචාර්ය සම්මාන උපාධියකින් ද පිදුම් ලැබුවාය.

අභාවප්‍රාප්ත මිලිනා සුමතිපාල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.