සහල් මිල ඉහළට

වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල තිබූ වී තොග සත්ත්ව ආහාරවලට විකුණා දැමීමත්, පසුගිය කන්නයේ වී අස්වනු පහත වැටීමත්, වී මෝල් හිමියන් විසින් වී තොග සඟවා තබා ගැනීමත් නිසා ඉදිරි කාලය තුළ සහල් මිල විශාල ලෙස වැඩිවීමේ අවදානමක් ඇතිවී තිබෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා පැවසීය.

කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් පසුගිය කන්නයේදී වී අතිරික්තයක් ඇති බව පවසමින් අතිරේක භෝගවලට යෑම සඳහා අක්කර දෙලක්ෂ පනස් දහසකින් වී වගාව අඩුකළ බවත්, ඒ සමගම ඇතිවූ නියඟයෙන් වී වගාව විනාශ වූ බවත් පැවසූ කරුණාරත්න මහතා ඒ හරහා පෙර කන්නවල ලැබුණු වී අස්වනු රටට අහිමි වූ බවත් පැවසීය.

මේ අතර එක්සත් හාල් නිපදවන්නන්ගේ සංගමයේ සභාපති මොරිස් පෙරේරා මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා කියා සිටියේ මේ රටේ ප්‍රධානම වී මෝල් පහක් වී තොග සඟවාගෙන සිටින බවත්, ඉදිරි කාලය තුළ හාල් මිල රුපියල් 100 දක්වා ඉහළ යෑම වැළැක්විය නොහැකි බවත්ය.

මේ වනවිටද වෙළෙඳ‍පොළේ සහල් මිල නාඩු රුපියල් 90 දක්වාත්, සම්බා සහල් 95 දක්වාත් ඉහළ ගොස් ඇති බවත්, ඉදිරි කාලය තුළ රටේ හාල් වෙළෙඳ‍පොළ හසුරුවන මෙම ප්‍රධාන හාල් මෝල් පහ ඉතා කූට ලෙස සහල් මිල වැඩි කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.
සුජිත් කෝනාර