දරු තිදෙනා අතරමං කර ගිය පියෙක්

කොළඹ සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගි බස් රථයක පියා විසින් අතරමං කර ගිය අවුරුදු 13,10 හා 08 වයසේ දරුවන් තිදෙනකු පෙරේදා (25) පස්වරුවේ හැටන් පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම දරුවන්ගේ මව මෙයට වසර දෙකහ මාරකට පමණ ඉහතදී ගෘහ සේවිකාවක ලෙස විදේශ ගතව ඇති අතර දරුවන් පියා භාරයේ පසුව ඇත.

දරුවන් සමඟ බස් රථයට පැමිණි පියා ඔවුන්ව එහි වාඩි කර කෑමට යමක් රැගෙන එන බව පවසා පිටව ගොස් යළි නොපැමිණ ඇති බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණයවී තිබේ.

පසුව ඔහු හැටන් පොලීසියට දුරකථන ඇමැතුමක් දෙමින් තම දරුවන් තිදෙනා බස් රථයේ පැමිණෙන බවත් ඔවුන් තමන් එන තුරු පොලීසියේ රඳවා ගන්නා ලෙසත් දැනුම්දී ඇත. ළමයින්ට කෑමට යමක් ගෙන ඒමට ගිය අවස්ථාවේ බස් රථය පිටත්ව යෑම නිසා තමන්ට ඊට ගොඩ වීමට නොහැකිවූ බවද ඔහු පවසා තිබේ.

මෙම ළමයින් භාර ගැනීමට එම පුද්ගලයා ඊයේ (25) දහවල් වන විටත් නොපැමිණි බවත් ඔහුගේ ජංගම දුරකථනයද විසන්ධි කර තිබෙන බවත් පොලීසිය පවසයි.

මව විදේශ ගතවූ පසු දරුවන් පියා භාරයේ සිටි බව දරුවන්ගේ පුංචි අම්මා බව කියන රූපා දේවී නැමැති නැමැති අය පොලීසියට පවසා ඇත.

දරුවන් අනාරක්ෂිත බැවින් ඔවුන් අධිකරණය මගින් පරිවාස භාරයට පත්කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.