බ්‍රසීලයෙන් සීනි ගෙන්වන්නේ නෑ

බ්‍රසීලයෙන් සීනි ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නැවැත්වීමට ශ්‍රී ලංකා සීනි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කොට තිබේ. බ්‍රසීලයේ සිට මෙරටට ආනයනය කරන සීනි කන්ටේනර්වල කොකේන් හමුවීම මේ තීරණය ගැනීමට හේතු වූ බව එම සංගමය පවසයි.

එහි ප්‍රකාශකයකු පැවැසුවේ දැනටමත් බ්‍රසීලයෙන් සීනි ආනයනය කිරීම නතර කර තිබෙන බවයි.

බ්‍රසීලයෙන් ශ්‍රී ලංකාවට නැව්ගත කරන සීනිි කන්ටේනර් අන්තර්ජාතික මාෆියාකරුවන් කොකේන් ප්‍රවාහනයට යොදාගැනීම නිසා තම සංගමයේ සාමාජිකයන් බලවත් අපහසුතාවකට පත්ව සිටින බව සඳහන් කරන එම සංගමය පෙන්වා දෙන්නේ බ්‍රසීලයේ සිට ආනයනය කළ සීනි කන්ටේනර්වල තිබී හමුවූ කොකේන් තොග බ්‍රසීලයේ සිට පෘතුගාලය හරහා යුරෝපයට ක්‍රියාත්මක කුඩු මාෆියාවට අයත් කොකේන් තොග බවට සැක කරන බවයි.

බ්‍රසීලයෙන් සීනි ආනයනය නොකිරීමට සංගමය තීරණයට එළැඹීමට පෙර ආනයනය කළ තවත් සීනි කන්ටේනර් 380ක් මේ මස අග හෝ 2017 ජනවාරි මස මුලදී කොළඹ වරායට පැමිණීමට නියමිත අතර ඒ පිළිබඳව මත්ද්‍රව්‍ය නිවාරණ අංශය දැනුවත් කර ඇති බවත් සීනි ආනයනකරුවන්ගේ සංගමය නියෝජනය කරමින් පැවැති මාධ්‍ය සකච්ඡාවකදී අදහස් දැක්වූ හේමක ප්‍රනාන්දු මහතා පැවැසුවේය.